Friday, May 19, 2017

ප්‍රති-නිෂ්පාදනය

ප්‍රති-නිෂ්පාදනය

 පළමු රූපයේ මේ ඉන්නේ ඇත්ත ෆ්‍රීඩා කාලෝ නෙවි. ඒ වෙනුවට model කෙනෙක් පෙනී සිටි අයුරුය. දෙවැනි රූපයේ ඉන්නේ ඒ model එකම ලංකාවේ කාවින්ද සිල්වා ඇඳ ඇති අයුරුය. කාවින්ද මෙහිදී ඡායාරුපයක් බලාගෙන මෙය සිතුවම් කලද, ඔහු එහිදී සියළුම තාක්ෂණික කාරණා ටික හරි අපූරුවට ජය ගෙන තිබෙන බව මගේ හැගීමයි. චිත්‍ර අඳිනවා කියන කාරණාවේදී මූලික ව්‍යාකරණ ටිකවත් දන්නේ නැති මිනිස්සු චිත්‍ර අඳිද්දී කාවින්ද ඒක කරන හැටි අපිට බලාගෙන ඉගෙනගන්න වෙනවා. (ව්‍යාකරණ පමණක් චිත්‍ර කලාව නොවන බව සලකන්න ) ෆ්රීඩා කලෝ කියන්නේ කලා ඉතිහාසය ඇතුලේ මගහරින්න බැරි සුවිශේෂී චරිතයක්. සිත්තරියක් හැටියට, දේශපාලනික චරිතයක් හැටියට ඇය හිතුවක්කාරීයි. එහෙම වන ගමන්ම ඇය ජීවිතයේ වේදනාවන් දාර්ශනික ලෝකය තුළ විඳ ගනිමින් ජීවිතය සිතුවම් කලා. බිහිසුණු රිය අනතුරකින් පස්සේ ඇගේ ජීවිතයේ සතුට අහිමිවෙන්න ගන්නවා. කොඳු ඇට පෙළ කැඩිලා යනවා. ඇගේ මව් පදවිය අහිමි වෙනවා. ඇගේ ස්වාමි පුරුෂය වූ මැක්සිකානු චිත්‍ර ශිල්පී දියාගෝ රිවේරා ෆ්‍රීඩා සිටියදීම අනියම් සම්බන්දතාවලට යනවා. අගේ ලිංගික ජීවිතය අහිමි වෙනවා. මේ සියලු අහිමිවීම් අස්සේ රෝදපුටුවෙ සිට ජීවිතයේ වේදනාව සිතුවම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සියලු වේදනාවන් අස්සේ ඇය අන්තිමට ඇගේ සිතුවමක ජීවිතය දිනේවා කියල සටහන් කරනවා .මටනම් ෆ්රීඩා කලෝ කියන්නේ ලෝක කලා ඉතිහාසය ඇතුලේ icon එකක්. එහෙම icon එකක් වුනු ෆ්රීඩා අනුකරණය කරන්න උත්සාහ ගැනීම මට අනුවනම් සුවිශේෂයි. මන්ද ෆ්රීඩා තුළ සාරයක් තිබුනේ නැත්නම් ඇයව අනුකරණය කරාවිද? සාමාන්‍යයෙන් ලෝකයේ originality කියන එක දැන් අහෝසියි. ප්‍රතිනිෂ්පාදනය කියන කාරණාව කලා කෘතිත් එක්ක සම්බන්ධ වෙන විදිය වෝල්ටර් බෙන්ජමින් අපට කියා දෙනවා. දැන් මෙතනදී ෆ්රීඩා ගේ ප්‍රතිනිෂ්පාදනය වූ ඒ model එක කාවින්ද අතින් ප්‍රතිනිෂ්පාදනය වීම අරුමයක් නෙවි. එම කාරණාවේදී කාවින්ද විසින් ගෙනහැර පාන මූලික ව්‍යාකරණ ටික නිවැරදිව ග්‍රහණය කරගෙන ඇති බව මා තරයේ විස්වාස කරමි. තථ්‍යාකාර, හැඩ, රේඛා, වර්ණ, වයනය, අවකාශය සහ අගය යන මූලධර්ම කිසියම් විස්වාසයකින්, තාර්කික පදනමකින් ඔහු යොදා ගන්නවා. මෙහිදී ඔහු ඡායාරූපයක් බලාගෙන සිතුවම් කලත් ඡායාරූපය ඉක්මවා ගිය ඇඳීමක් කාවින්ද විසින් පෙන්නනුයේ චිත්‍ර අඳිනවා කියන ක්‍රියාව තුළ මූලික ව්‍යාකරණ ටික ඔහු නිවැරදිව හඳුනාගෙන ඇති බැවිනි. මේ ඇඳීම තුළ මූලික ව්‍යාකරණ මෙසේ උවත් ප්‍රකාශනයේ අවශ්‍යතාව මත ඕනෑම ශිල්පියෙකුට ව්‍යාකරණ මතම රැදී සිටිය යුතුයැයි නීතියක් නැත. සීමාවක්ද නැත. ව්‍යාකරණ කැඩීම තවත් ව්‍යාකරණයක් වන අතර හේතුවක් මත ව්‍යාකරණ කඩන ලද ශිල්පීන් ලංකාවෙන්ද ,යුරෝපයෙන්ද හඳුනාගත හැකිය.

සාමාන්‍යයෙන් කෙනෙකුට කලාකෘතියක් අයිතිකර ගන්නනට තරම් හිතෙන විදියට ඒක යම්තාක් දුරකට පරිපූර්නනම් ඒක ඒ ශිල්පියාගේ හැකියාව. සමහර කලාකෘති ඉදිරියේ නරඹන්නා කේන්ති ගස්සන්න පුළුවන්.අඩවන්න පුළුවන්. හිනස්සන්න පුළුවන්. ගල්ගස්සන්න පුළුවන්. ඒ කෘතියට සහ ශිල්පියාට ඇති හැකියාවයි. මගේ ජීවිතයේත් සමහර කෘති හමුවෙලා තියෙනවා අයිතිකර ගැනීමට තරම් සිත් දුන්. සමහර විට එසේ වන්නේ තමාට තාක්ෂණික වශයෙන් එය අත්පත් කර ගැනීමට තරම් වඩා හොඳට වෙනත් ශිල්පියෙකු එය අත්පත් කර ගැනීම විය හැකිය. එසේත් නැත්නම් තමාගේ ජීවන අත්දැකීම් සමග එම කෘතිය බොහෝ දුරට අනන්‍ය වන නිසා විය හැකිය. සමහර වෙලාවකට ජාති, ආගම්, කුලය, සන්දර්භය, ගැහැණු පිරිමි, භාෂාව .............යන කරනාවන්ගෙන් හෝ generation gap එකකින් තොරව සමහර කෘති අයිති කර ගැනීමට පුළුවන. මෙහිදී අයිති කර ගැනීම යනු මුදල්වලට අයිතිකරගැනීම නොවේ. කාවින්දගේ කෘතිය මා අයිති කර ගනුයේ ද සහේතුකවය. සමහර විට ඒ තුළ මගේ ආශාවද තිබිය හැක. මම සතුටු වෙනවා වෙළදපොල විසින් හදන ලද ආශාවක පදිංචි නොවී මේ පුංචි කොල්ල විසින් ප්‍රතිනිෂ්පාදනය කරන ලද සිතුවමකට මගේ ආශාව පදිංචි කරන්න පුළුවන් උනාට. නමුත් මගේ ලිවීම තුළ ප්‍රතිවාදියෙක් නිර්මාණය වීම කියන්නේ කුමක්? මම ලියන්නේ ව්‍යුහාත්මකව. ඒකට මාත් අයිතියි. ඔබත් අයිතියි.

ප්‍රගීත් රත්නායක

Wednesday, May 17, 2017

ලංකාවේ කව්ද අලුත් චිත්‍ර ඇන්දේ.....

"ලංකාවේ කව්ද අලුත් චිත්‍ර ඇන්දේ? ඒ කියන්නේ ගැලරියේ මීට කලින් දැකල නැති චිත්‍ර. චන්ද්‍රගුප්ත තේනුවර තමයි ලංකාවේ අලුත් චිත්‍ර ඇන්දේ "
~දීප්ති කුමාර ගුණරත්න ~
දීප්ති කියන මේ කාරණාව බරපතලයි. ඇත්ත තේනුවර කියන්නේ ලෝකයට baralism (බැරලිසම් ) හඳුන්වලා දුන් කෙනා කලාගාර අවකාශයකට බැරල් එකක් ආර්ට් එකක් හැටියට සහ දේශපාලනික ප්‍රකාශනයක් හැටියට ගෙනාපු කෙනෙක්. චන්ද්‍රගුප්ත තේනුවර කියන්නේ ලංකාව තුල දෘශ්‍ය කලාවේ Landmark එකක්. විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයකට උරුමකම් කියන මොහු රුසියාවෙන් මාස්ටර් එක ගන්නේ ඇකඩමික් තුල මානව රූපයේ ප්‍රාමාණිකත්වය සාක්ෂාත් කර ගනිමින්. මොහු නිසා සෞන්දර්යයේ ගොඩක් සිසුන්ට මිනිස් සිරුරේ ප්‍රකාශන සූක්ස්මතාවන් සහිත තැන් සහ මිනිස් සිරුරේ සමස්තය එකට පිහිට වූ තථ්‍යාකාරයක් ලෙස ග්‍රහණය කර ගත යුතු හැටි ඉගෙනගැනීමට අවස්ථාව උදා වුණා. මමත් යම්කිසි කාලයකදී තේනුවර සර්ගෙන් මානව රූපය සම්බන්ධව විද්‍යාවක අභාෂයෙන් ඉගෙනගත් දේවල් අද වන විට අලුත් ශිෂ්‍ය පරම්පරාවට ලබා දෙමින් ඉන්නවා. විශේෂයෙන් ගුරු භූමිකාවේදී සමහර තැන්වල අභ්‍යාසවලදී නිර්ධය විවේචනවලට අප එල්ල වුවද, ලජ්ජාවට පත් කලද, අවශ්‍ය ලකුණු ප්‍රමාණය මොහුගෙන් ලබා ගැනීම අසීරු උවත් මම තේරුම් ගතපු කාරණාවක් තමයි ලකුණු 10ක් ලබා ගත්තද ඒ ලකුණු ප්‍රමාණය ලකුණු 100 පමණ වටිනා බව. මෙහෙම ඇකඩමික් විනයක් තුළ වැඩ කරපු මොහු කොහොමද බැරල් අඳින්නේ කියල කියල ගොඩක් අයට ප්‍රශනයක් උනා. තේනුවර සර් නිසා දෘශ්‍ය කලාවට අලුතෙන් එකතු වූ වචනය තමයි "Baralism "(බැරලිසම් ) කව්රුවත් කියන විදියට ඉන්නේ නැතුව කලාකාරයෙක් විදියට ඉන්නේ 'කොහොමද කියල අපිට බැරලිසම්වලින් කියා දෙනවා. (දේශපාලනික වන විදිය )චිත්‍ර කරන ළමයෙක් මම හිතන්නේ තේනුවර සර් ගෙන් ඉගෙනගන්නවා කියන්නේ තමන් කරන වැඩේ ඇතුලේ මහා ශික්ෂනයකට ලක්වෙනවා කියන එකයි.එයාගෙන් වේගය සහ කලබලය කියන එක ලස්සනට වෙන්කරලා හඳුනාගන්න පුළුවන්.
ප්‍රගීත් රත්නායක
 


කෘතිය සහ කෘතිය ගොඩනගන්නා අතර තිබෙන සවිඥානිකත්වය කුමක්ද ?


තමන්ගේ ආශාව වෙනුවෙන් වෙනත් කෙනෙක්ගේ ආශාව යටපත් කිරීම එහෙමත් නැත්නම් තමන්ගේ නොහැකියාව තක්කඩි විදියට දාර්ශනික කර ,තව දුරටත් කැන්වසය මත හෝ වෙනත් අවකාශයක මිනිස් රූපයන් ආශ්‍රයෙන් ගොඩනගන ප්‍රකාශනයන් අවතක්සේරු කිරීම අප පිළිගත යුත්තේ කෙසේද ?figurerative අර්ටිස්ට්ලට තව දුරටත් තිබෙන සමාජ වටිනාකම කුමක්ද ? කලාව සහ කලාව නොවන දෙය අතර වෙනස කුමක්ද සහ එම වෙනස mark කරන්නේ කව්ද ?එහි නිර්නායකයන් සහ දේශපාලනික අවශ්‍යතාව කුමක්ද ?ලංකාවේ කලාව කියා දැන් සිදුවෙමින් පවත්නා අරුම පුදුම හා තමන්ටත් ලිහා ගන්නට බැරි තත්වයන් අප කලාව කියා බාර ගැනීමට සූදානම්ද ? අනෙක කෘතිය සහ කෘතිය ගොඩනගන්නා අතර තිබෙන සවිඥානිකත්වය කුමක්ද ?වැන්ගෝ සහ පිකාසෝ යන දෙන්නා කලාව ඇතුලේ තමන්ගේ දෘශ්‍ය රූප හැදුවේ ඒ දෙන්නට අනන්‍ය විදියට . එහෙමත් නැත්නම් ප්‍රකාශන ආර දෙවිදියක් .වැන්ගෝ ආත්ම කේන්ද්‍රීයයි .පිකාසෝ දේශපාලනිකයි .කලාවේ ප්‍රකාශනය මේ දෙකද ?එහෙමත් නැත්නම් වෙන එකක්ද ? වෙන එකක්නම් ,ඒ මොකක්ද ? මා විශ්වාස කරනුයේ තමන්ගේ කතාව වෙනුවෙන් තව දුරටත් කැන්වසයේම එල්ලී සිටීම අනිවාර්ය නොවන අතර හතර සීමාව ඉක්මවා ගිය නොයෙකුත් ආකෘතිකමය හා අවකාශමය ගොඩනැංවීම් ප්‍රකාශනයට යොදා ගැනීමට හැකියාවක් ඇති බවයි.අප කුමක් කලාද ඒ කරන දේ වෙනුවෙන් පෙනී සිටීම කලාව සමකාලීන කලාව සම්බන්ධ මගහැරිය නොහැකි යථාර්තයකි . මා විශ්වාස කරන අන්දමට කැන්වසයේ හතර සීමාව අතික්‍රමණය කිරීමට මත්තෙන් මෙම හතර සීමාව ඇතුලේ අපට තාමත් විසඳා ගතයුතු දේවල් ද නැත්තේමද නොවේ .ලංකාව තුළ කලාවේදී හාවන් ද ඉබ්බන්ද වැඩි ?


ප්‍රගීත් රත්නායක 

Texts

ආතති මුක්තය