Friday, May 19, 2017

ප්‍රති-නිෂ්පාදනය

ප්‍රති-නිෂ්පාදනය

 පළමු රූපයේ මේ ඉන්නේ ඇත්ත ෆ්‍රීඩා කාලෝ නෙවි. ඒ වෙනුවට model කෙනෙක් පෙනී සිටි අයුරුය. දෙවැනි රූපයේ ඉන්නේ ඒ model එකම ලංකාවේ කාවින්ද සිල්වා ඇඳ ඇති අයුරුය. කාවින්ද මෙහිදී ඡායාරුපයක් බලාගෙන මෙය සිතුවම් කලද, ඔහු එහිදී සියළුම තාක්ෂණික කාරණා ටික හරි අපූරුවට ජය ගෙන තිබෙන බව මගේ හැගීමයි. චිත්‍ර අඳිනවා කියන කාරණාවේදී මූලික ව්‍යාකරණ ටිකවත් දන්නේ නැති මිනිස්සු චිත්‍ර අඳිද්දී කාවින්ද ඒක කරන හැටි අපිට බලාගෙන ඉගෙනගන්න වෙනවා. (ව්‍යාකරණ පමණක් චිත්‍ර කලාව නොවන බව සලකන්න ) ෆ්රීඩා කලෝ කියන්නේ කලා ඉතිහාසය ඇතුලේ මගහරින්න බැරි සුවිශේෂී චරිතයක්. සිත්තරියක් හැටියට, දේශපාලනික චරිතයක් හැටියට ඇය හිතුවක්කාරීයි. එහෙම වන ගමන්ම ඇය ජීවිතයේ වේදනාවන් දාර්ශනික ලෝකය තුළ විඳ ගනිමින් ජීවිතය සිතුවම් කලා. බිහිසුණු රිය අනතුරකින් පස්සේ ඇගේ ජීවිතයේ සතුට අහිමිවෙන්න ගන්නවා. කොඳු ඇට පෙළ කැඩිලා යනවා. ඇගේ මව් පදවිය අහිමි වෙනවා. ඇගේ ස්වාමි පුරුෂය වූ මැක්සිකානු චිත්‍ර ශිල්පී දියාගෝ රිවේරා ෆ්‍රීඩා සිටියදීම අනියම් සම්බන්දතාවලට යනවා. අගේ ලිංගික ජීවිතය අහිමි වෙනවා. මේ සියලු අහිමිවීම් අස්සේ රෝදපුටුවෙ සිට ජීවිතයේ වේදනාව සිතුවම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සියලු වේදනාවන් අස්සේ ඇය අන්තිමට ඇගේ සිතුවමක ජීවිතය දිනේවා කියල සටහන් කරනවා .මටනම් ෆ්රීඩා කලෝ කියන්නේ ලෝක කලා ඉතිහාසය ඇතුලේ icon එකක්. එහෙම icon එකක් වුනු ෆ්රීඩා අනුකරණය කරන්න උත්සාහ ගැනීම මට අනුවනම් සුවිශේෂයි. මන්ද ෆ්රීඩා තුළ සාරයක් තිබුනේ නැත්නම් ඇයව අනුකරණය කරාවිද? සාමාන්‍යයෙන් ලෝකයේ originality කියන එක දැන් අහෝසියි. ප්‍රතිනිෂ්පාදනය කියන කාරණාව කලා කෘතිත් එක්ක සම්බන්ධ වෙන විදිය වෝල්ටර් බෙන්ජමින් අපට කියා දෙනවා. දැන් මෙතනදී ෆ්රීඩා ගේ ප්‍රතිනිෂ්පාදනය වූ ඒ model එක කාවින්ද අතින් ප්‍රතිනිෂ්පාදනය වීම අරුමයක් නෙවි. එම කාරණාවේදී කාවින්ද විසින් ගෙනහැර පාන මූලික ව්‍යාකරණ ටික නිවැරදිව ග්‍රහණය කරගෙන ඇති බව මා තරයේ විස්වාස කරමි. තථ්‍යාකාර, හැඩ, රේඛා, වර්ණ, වයනය, අවකාශය සහ අගය යන මූලධර්ම කිසියම් විස්වාසයකින්, තාර්කික පදනමකින් ඔහු යොදා ගන්නවා. මෙහිදී ඔහු ඡායාරූපයක් බලාගෙන සිතුවම් කලත් ඡායාරූපය ඉක්මවා ගිය ඇඳීමක් කාවින්ද විසින් පෙන්නනුයේ චිත්‍ර අඳිනවා කියන ක්‍රියාව තුළ මූලික ව්‍යාකරණ ටික ඔහු නිවැරදිව හඳුනාගෙන ඇති බැවිනි. මේ ඇඳීම තුළ මූලික ව්‍යාකරණ මෙසේ උවත් ප්‍රකාශනයේ අවශ්‍යතාව මත ඕනෑම ශිල්පියෙකුට ව්‍යාකරණ මතම රැදී සිටිය යුතුයැයි නීතියක් නැත. සීමාවක්ද නැත. ව්‍යාකරණ කැඩීම තවත් ව්‍යාකරණයක් වන අතර හේතුවක් මත ව්‍යාකරණ කඩන ලද ශිල්පීන් ලංකාවෙන්ද ,යුරෝපයෙන්ද හඳුනාගත හැකිය.

සාමාන්‍යයෙන් කෙනෙකුට කලාකෘතියක් අයිතිකර ගන්නනට තරම් හිතෙන විදියට ඒක යම්තාක් දුරකට පරිපූර්නනම් ඒක ඒ ශිල්පියාගේ හැකියාව. සමහර කලාකෘති ඉදිරියේ නරඹන්නා කේන්ති ගස්සන්න පුළුවන්.අඩවන්න පුළුවන්. හිනස්සන්න පුළුවන්. ගල්ගස්සන්න පුළුවන්. ඒ කෘතියට සහ ශිල්පියාට ඇති හැකියාවයි. මගේ ජීවිතයේත් සමහර කෘති හමුවෙලා තියෙනවා අයිතිකර ගැනීමට තරම් සිත් දුන්. සමහර විට එසේ වන්නේ තමාට තාක්ෂණික වශයෙන් එය අත්පත් කර ගැනීමට තරම් වඩා හොඳට වෙනත් ශිල්පියෙකු එය අත්පත් කර ගැනීම විය හැකිය. එසේත් නැත්නම් තමාගේ ජීවන අත්දැකීම් සමග එම කෘතිය බොහෝ දුරට අනන්‍ය වන නිසා විය හැකිය. සමහර වෙලාවකට ජාති, ආගම්, කුලය, සන්දර්භය, ගැහැණු පිරිමි, භාෂාව .............යන කරනාවන්ගෙන් හෝ generation gap එකකින් තොරව සමහර කෘති අයිති කර ගැනීමට පුළුවන. මෙහිදී අයිති කර ගැනීම යනු මුදල්වලට අයිතිකරගැනීම නොවේ. කාවින්දගේ කෘතිය මා අයිති කර ගනුයේ ද සහේතුකවය. සමහර විට ඒ තුළ මගේ ආශාවද තිබිය හැක. මම සතුටු වෙනවා වෙළදපොල විසින් හදන ලද ආශාවක පදිංචි නොවී මේ පුංචි කොල්ල විසින් ප්‍රතිනිෂ්පාදනය කරන ලද සිතුවමකට මගේ ආශාව පදිංචි කරන්න පුළුවන් උනාට. නමුත් මගේ ලිවීම තුළ ප්‍රතිවාදියෙක් නිර්මාණය වීම කියන්නේ කුමක්? මම ලියන්නේ ව්‍යුහාත්මකව. ඒකට මාත් අයිතියි. ඔබත් අයිතියි.

ප්‍රගීත් රත්නායක

No comments:

Post a Comment

Texts

ආතති මුක්තය