Saturday, June 20, 2020

Inner beauty එක කැත ලස්සනක් ලෙස..................

තවකෙකුගේ ඇස් ඉදිරිපිට බාහිර ලස්සන යනු මුළා කිරීමක්; බොරුවක්; සත්‍යට දුරස් දෙයක්. ඔබ දෙස බලන මිනිසුන් / සමාජය විසින් ඔබ සුන්දර ලෙස සලකන්නේ නම් හෝ එසේ නැත්නම් එය සමාජයට අයත් තීරණයක් යැයි කීම නිවැරදියි. එම සමාජයීය ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වන පැවැත්මක සංකීර්ණතාවට වගකිව යුතු වන්නේ ද මෙම ප්‍රමිතීන්මය. එය දෘශ්‍ය භාෂාවෙන් ප්‍රකාශ කිරීමක්  පැරඩයිස් රෝඩ් කලාගාරයේ දී මුණ ගැසුණා. එහි තිබූ,  රූප සෞන්දර්ය  කලා විශ්වවිද්‍යාලයෙන් දෘශ්‍ය කලාව පිළිබඳව ඇකඩමික පුහුණුව ලද කසුන් ගීතේන්ද්‍රගේ 'Inner Beauty' නම් සිතුවම් මාලාව . මෙහිදී වැදගත් වන්නේ මෙවන් සන්දර්භයක සිට අභ්‍යන්තර ලස්සන පිටතට ගෙන නැරඹීමට සැලැස්වීමයි. පිටත විසින්  කියවගන්නා 'අභ්‍යන්තරත්වය' සුන්දර විය හැකිද. එය පරිකල්පනය කරන කසුන් සංකල්පීව මෙන්ම තාක්ෂණිකව ජයගත් තත්ත්වයන් ඔහුගේ සිතුවමින් ප්‍රතිනිර්මාණය කරයි.

එම සිතුවම් නිර්මාණය කිරීමේ දී රූපයට හසුකරගෙන ඇති විකෘති  කරන ලද ශරීර අවයව වලින් කර ඇති සංරචනය ප්‍රබල සහ ලෙස ඍජු ලෙස සංකල්පය අවධාරණය කරයි. එම අසමමිතික සංරචනය ඇතුළෙ ඇති රූප එකින් එක වෙන වෙනම විග්‍රහ කිරීමට හැකියි. එහි ඇගිලි මස තුළ ගිලා බසින, සම, මස සිදුරු කරමින් විනිවිද යන වේදනාකාරීත්වය ද ඉදිරියට නෙරා ඇති ඇස්, පළල්ව ලෙස විවර වූ මුඛ සහ තථ්‍ය ලෝකයේ නොදකින රූප සමග සම්බන්ධ කරමින් කැත, ලස්සනට ප්‍රදර්ශනය කිරීමට ඔහුට හැකි වී තිබේ. මේ ලස්සන තමයි අද දවසේ ලස්සන හැටියට අපට මුණගැසෙන්නෙ.ඒක භාෂාවෙන් එකවර කියවගන්න බැරි ක්ෂතිමය අත්දැකීමක් .අපට දීල තියෙන පිලිවෙල ප්‍රශ්න කිරීමක්.යම්කිසි විදියක ලස්සන පිළිබඳ අදහස විසංයෝජනය කිරීමක්.සමකාලීන චිත්‍රයේ ඉන්ද්‍රා පතිගෙ මේ පොලාපැනීම අපට නිම නොවන වර්තමානයක අනන්‍යතා අර්බුදයක ලක්ෂණ  පේන්න සැලැස්වීම අපූරුයි.විශ්වීය මානව පැවැත්මක මනුස්සයාගේ මම කව්ද කියල අහන ප්‍ර්ශ්නයට ඉන්ද්‍රා පති දෙන උත්තරේ තමයි මේ. Surrealistic ආකෘතියකින් ඒ ඒ කාලවල අපට ඉතිහාසයේදී හමුවන සමහර ආර්ට් form මතක් කරවන ඉන්ද්‍රගෙ වැඩ ඇකඩමික් ඇතුළෙ ඉඳන් ඇකඩමික් වැඩ ප්‍රශ්න කිරීමක් වගේ.ඉන්ද්‍රගෙ form එක ගැන ඔහුට ලොකු විශ්වාසයක් ගොඩනගල මේ වෙද්දි .මානව රූපයේ ව්‍යූහනය සහ භාහිර අලංකරණය ඇල්ලීම වෙනුවට ඔහු අල්ලන්නේ යටිහිතේ  තමන්ට තියෙන හැඟීම.ඒක භයංකාර නිමැවුමක් වන්නෙ ඔහුගෙ වරදින් නෙවි අප සියල්ලන්ගේම ජීවන විලාශයන්වල එකතුවෙනි.හැමහැමදෙයක්ම හැම පැත්තටම ගමන් කරමින් තියෙන්නෙ.

තාක්ෂණික කාරණා ගැන කතා කරනවිට, සුදු කැන්වසය හෝ කඩදාසිය මත කලු වල තානයන්  අභ්‍යාසය කර තිබීමම මෙම ඇඳීම් (drawing) අභිබවා ගිය පින්තාරු (paintings) බවට පත්වනවා. ඇකඩමික ඇඳීම් වල ඉහළ කෞශල්‍යයක් ඇති ඔහු ඉන් ඔබ්බට සංකල්පය දෙසට ගමන් කරමින් එහි විවිධ රූප පරිකල්පනය කිරීමෙහි නිමග්න වෙමින් නැවත නැවත සිතීමට ඉඩ තබමින් රූප නිෂ්පාදනය කරයි.සමහර විටෙක චිත්‍රයක් කියන පරණ අර්ථය ඉන්ද්‍රා පසුකරමින් ඉන්නවා.කලු සුදු අලු කියන පැහැයන්වල අනේකත්ව විහිදීම අපට වර්ණ පිරුණු ලෝකයේ පණ නැති මොක්ක්දෝ අඩුවක් දැනෙන එක අමුතු එකක්.සමහර විටෙක මේ අමුත්ත නිසාම වෙන්න ඇති චිත්‍රය  ලඟටම අප කැඳවන්නෙ.එක්තරා විදියකට දුමිත් කුලසේකර මතක් කරවන ආකෘතියක් අපේ හිතේ හොල්මන් කරාට සංකල්පීයව දෙදෙනාම වෙනස්.ඉන්ද්‍රා හුදු අඳින්නෙක් විතරක්ම නෙවි කියල ඔහු අපට පසක් කරමින් සිටී.

ප්‍රගීත් රත්නායක 










Thursday, June 11, 2020

"පින්තූර අඳින " සංජීව කුමාර


ශ්‍රී ලංකාවේ සහ නෙදර්ලන්තයේ චිත්‍ර කලාව හැදෑරූ සංජීව කුමාර ඔහුගේ අධ්‍යාපනයේ බලපෑම් සමඟ පශ්චාත් යටත් විජිතකරණය පිළිබඳ විෂයට ප්‍රවේශ වෙයි. එහි දී ඔහු පුනරුදයට පෙර සහ ලන්දේසි මාස්ටර් චිත්‍ර ශිල්පීන් පිළිබඳව ගැඹුරින් විමසා බැලීමට යොමු විය. සංස්කෘතික වශයෙන් දකුණු ආසියානු, පශ්චාත් යටත් විජිත උරුමය අතර පරිකල්පනය මෙහෙයවන සංජීව කුමාර ඔහුගේ කලාව තුළ එය බලපෑ ආකාරය ගවේෂණය කරයි. ඒ පිළිබඳව ඔහුගේ පරම්පරාවේ පළමු කලාකරුවා සංජීව කුමාර ය. " ලංකාව දූපතක් නිසා හැම දිසාවෙන්ම ආ සංස්කෘතික මිශ්‍ර ලක්ෂණ (Hybridity) අපේ කම තුළ දක්නට ලැබෙනවා.මම සිතුවම් කරන විට ජනප්‍රිය හා ජනප්‍රිය නොවන ඉතිහාසයීය සංකේත හා දෘශ්‍ය රූප එකතුවක් ලෙස (pastiche ) නිදහසේ භාවිතයට ගන්නවා.මෙම පින්තූර නූතන චිත හෝ fantasy චිත්‍ර නමින් නම් කරනවට වඩා බටහිර නොවන බටහිර කලාව ලෙස හඳුනාගන්නව නම් වඩා නිවැරදියි ." සංජීව කුමාර පවසනවා. ශ්‍රී ලංකා දෘශ්‍ය කලාකරුවෙකු ලෙස ඔහුට, ජනප්‍රිය දේශීය කලාකරුවන් වන සේනක සේනානායක, එස්. එච්. සරත්, ජෝර්ජ් කීට් යන කලාකරුවන්ගේ කලාත්මක ආභාසය ලැබී ඇතැයි සිතිය හැක.. කෙසේ වෙතත්, දෙවරගම්පල සිල්වත්තැන නම් බෞද්ධ ආගමික විහාර චිත්‍ර ශිල්පියාගේ ශිල්පීය ක්‍රම සහ කලා කෘති ඔහුගේ කෘති සඳහා වඩාත් අධ්‍යයනයට ගෙන ඇත. ඔහුගේ කෘතිවල අලි ඇතුන්, මල්කම්, පාවෙන දඩයම්කරුවන්, සතුන් ආදිය සහ සියලු ආකාරයේ නිර්මාණාත්මක ලෙස කර ඇති නිරූපණයන් අතර ඒවා සිතුවම්වලට වයන එක් කරයි. සිංහල වේදිකා නාට්‍ය, ග්‍රීක මිථ්‍යා කථා, ඉන්දියානු කථා වල ආඛ්‍යාන යොදාගෙන ඇති අතර, වර්ණවත් පසුබිම් බහුල පාරාදීසයක් ගොඩ නංවයි. රූප අතර ගොඩනගන සම්බන්ධතාව සූක්ෂම ය. ඒවා 'චලනය වන’ රූප වේ. ත්‍රිමාණ ද්විමාන ආකෘති ද නිරූපණය කරයි. නිර්මාණය කිරීම සඳහා රූප පෙළක් අරමුණු කරන අතර ඔහු ඒවා අද්විතීය ස්වරූපයකට මුහු කරයි.
"සතුට" (fun) තම පින්තූරයන්හි හරය ලෙස සලකන සංජීව කුමාර ඒවා "චිත්‍ර"( painting ) ලෙස නම් කරනවාට වඩා පින්තූර(picture ) ලෙස නම් කරනවා.surrealist ලා සහ ලැකාන් එකිනෙකාට සම්බන්ධ වන තැනක් ලෙස මෙය අපට ගත හැකියි. මනසින් රසවිඳිය හැකි (abstract )අමුර්ත ගූඩ චිත්‍රයක ලක්ෂණ වලට වඩා ඇසින් හඳුනාගත හැකි විවිධ දේවල් හා විවිධ භූමි දර්ශන ඔහුගෙ පින්තූර වල තියෙනවා.අභ්‍යවකාශය හා මුහුදු යට දර්ශන හා ද්‍රව්‍ය මේ අතර විශේෂිතයි.ස්වභාවිකත්වයත් අධි ස්වභාවිකත්වයත් අතර දෙගෙඩියාවක් හෝ අවිනිශ්චිතතාවයක් නිපදවීම මගින් ඔහු හදන සෞන්දර්ය එම කෘතීන්හි විශේෂත්වයයි.ඒ නිසාම ඒවා අමුතුයි .(uncanny )ඒවාගේ ඇත්තේ චිත්‍රය නරඹන්නාගේ අව්ඥානික ආශාව.(Desire )නරඹන්නාම ච්ත්‍රයේ නිර්මාණකරුවා වීම මෙහිදී සිදුවීම විශේෂයි .
ඔහුගේ පරිකල්පනය කිරීම සහ ප්‍රතිනිර්මාණය කිරීම අතර තමන්ගේම ආකෘතියක් ඉදිරිපත් කිරීමට අවධානය යොමු කරයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ තිබූ පින්තූර, පැරණි ගෘහ භාණ්ඩ, චිත්‍ර ශිල්පීය භාෂාවෙන් නරඹන්නාට ඉදිරිපත් කිරීමට ඔහු අවධානය යොමු කරයි. සංස්කෘතීන් අතර අහඹු හා අතිශයින්ම අදාළ සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් නිෂ්පාදනය කරන ඔහුගේ පින්තූර ලෙස සැලකෙන ඔහුගේ සිතුවම් අන්තර් සම්බන්ධතාවක් ඇති කරයි.
ලංකාවේ කලා ඉතිහාසය තුළ මගාරින්න බැරි සළකුණක් තබන සංජීව කුමාර සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් ප්‍රථම උපාධිය ද ,නෙදර්ලන්තයෙන් ලබා ගන්නා ඩිප්ලෝමාවද පශ්චාත් උපාඩියද, ලබාගත්තෙකි.1999 අමුතු පෞරුෂත්ව නමින් කළ ප්‍රදර්ශනයත් සමග 90 දශකයේ බහුවිද ප්‍රවණතාවයේ ඔහුගේ තබන ලද මුද්‍රාව මේ වන විට භෞතික වෙමින් ඇත.දිය්ණු ගුරුවරයෙක් වන සංජීව කුමාර ගෙන් ශික්ෂණය වන ශිෂ්‍යන් චිත්‍ර කලාවේ භාෂාවට ඇතුළත් වීම අනාගත චිත්‍ර කලා වැඩබිමටකට ලොකු අස්වැසිල්ලක් වේවි.
ප්‍රගීත් රත්නායක
























Monday, June 1, 2020

එස්. එච්. සරත්


රජයේ ලලිත කලායතනයේ එනම් වර්තමාන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ  (1968-1973) කාල වකවානුවේ දී චිත්‍ර කලාව පිළිබඳව පස් අවුරුදු පාඨමාලාව හැදෑරූ එස්. එච්. සරත් අනතුරුව තායිලන්තයේ Silpkon විශ්වවිද්‍යාලයේ කලාව පිළිබඳව පශ්චාත් උපාධිය සම්පූර්ණ කරයි. 1995 දී මුද්‍රණ ශිල්පය පිළිබඳව පාඨමාලාවක් හදාරන ඔහු කලාව පිළිබඳව ඇකඩමික් පුහුණුව වර්ධනය කර ගත්තේ ය.
නිදහස් චිත්‍ර ශිල්පියෙකු ලෙස එස්. එච්. සරත් කලාවේ නියැලෙමින් ලොව පුරා ප්‍රදර්ශන ගණනාවක් පැවැත්වී ය. ඔහුගේ කලා නිර්මාණ වලට ලෝකයේ බොහෝ රටවල් ගරුබුහුමන් දක්වා ඇත. දශක ගණනාවක් තිස්සේ ඔහු කලා නිර්මාණ කරමින් ප්‍රදර්ශන පවත්වමින් රසික පිරිස අතර තම සංවාදය සිදු කළේ ය. වේදිකාව කලාගාරය බවට පත් කරගනිමින් තම අදහස්, ආකල්ප මතවාද සිතුවම් මගින් ප්‍රකාශ කිරීම සහ සමාජය, දේශපාලනය උපහාසයට ලක් කිරීම සිදු කර ඇත. එනම් කලාකරුවාගේ සිතීමේ මාදිලිය වන ඇඳීම උපයෝගීතාවට යොදාගෙන සමාජ තේමාවන් හා ගැටලු ඉදිරිපත් කරයි.
දේශීය සාම්ප්‍රදායික බිතුසිතුවම් වල ඇති, චරිත හා සිදුවීම් ආභාසයට ගනිමින් නව නිර්මාණ ප්‍රමාණාත්මකව විශාල අගයක් ප්‍රතිනිර්මාණය කර ඇත. ඔහුගේ මාධ්‍ය ලෙස ඇක්‍රිලික්, තෙල් සායම් සහ රේඛා චිත්‍ර ද වේ. තේමාත්මක අභිලාෂයන් ගෙන හැර දැක්වීමේ දී මෙම කෘති වල අන්තර්ගතය සඳහා ජන විඥානය ක්‍රියාකළ ආකාරය උපහාසයට ලක් කර ඇති අයුරු කියවා ගත හැකිය. ඔහුගේ කලාකෘති නිර්මාණාත්මක අවි ගබඩාවකි. සමාජ විවේචනය, ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස තමුන්ගේ මාධ්‍ය තුළ හිඳිමින් කළ හෙළිදරව්ව යුද්ධය ප්‍රකාශ කිරීමකි. එය ක්‍රියාකාරී මානයකි.
මේ ආකාරයට කලා දිවියේ දිගු, වෙහෙසකර හා දුෂ්කර ගමනක් ගිය ඔහු ඔහුගේ අධ්‍යයනයන්ගෙන් හා පුහුණුවෙන් කළ මෙහෙය සුවිසල් ය.




Texts

ආතති මුක්තය