Thursday, June 24, 2021

ආතති මුක්තය

 "මට ජීවත් වෙන්න තරම් විශේෂ හේතුවකුත් නැහැ" 

===========================================


ආතති මුක්තය 

RELEASE OF TENSION 

-------------------------


හොඳට වතුර සහ පොහොර දාල තමන්ගේ ගෙදර හදන මල් පෝච්චිය විතරක්ම රැකගන්නට උත්සාහ කරන හුදී ජනයාට තම මල් පෝච්චිය කුඩුවෙන්නට පොළවේ ගසන්නට කියා ප්‍රගීත් රත්නායක විසින් කරන අහිංසක පොඩි චිත්‍රමය ආරාධනාවක්...

===========================================


"කෝටි සංඛ්‍යාත ජනතාවගේ ලජ්ජාශීලී වහල්භාවය ගැන සිතමින් පෙචෝරියන් ඉස්සර සිතින් දුක් වින්දේය. කල් යත් යත්ම ඔහු ඔහුගේ උදාර හැගීම් හදවත තුල වළලා දමා වේදනාව දෙස උදාසීන ලෙස බැලීමට උගත්තේය. ඉක්බිතිව කිසිම දෙයක් විශ්වාස නොකිරීමටත්, කිසිවක් කෙරෙහි බලාපොරොත්තු නොතැබීමටත් ඔහු අනුක්‍රමයෙන් උගත්තේය. ඔහු ගැනම ඔහු කියන පරිදි අධ්‍යාත්මික අබ්බගාතයෙක් බවට ඔහු පත්විය. මෙන්න මේ අබ්බගාතයා ලේමර්න්තව් අපේ කාලයේ වීරයා ලෙස හඳුන්වයි" 


 මිහයිල් ලේමර්න්තව් 

අපේ කාලයේ වීරයෙක් 

----------------------


මීට ටික කලකට පෙර මගේ ළඟම මිතුරෙක් මට දුරකතනයෙන් කතා කරලා කිව්වා "මචං සාලිය, මට උඹව ඉක්මනට හමුවෙන්න ඕනා" කියල. මම ඒ වෙලාවේ හිටියේ ටිකක් දුර බැහැරක නිසා මම කිව්වා, මට  ඉක්මනට  නම් හමුවෙන්න බැහැ මම ඉන්නේ ගොඩාක් දුරක කියල. ඊට පස්සේ මගේ මිතුරා කිව්වා උඹට මාව ඉක්මනට හමුවෙන්න බැරි වුනොත් උඹට ආයේ මාව දකින්න හමුවෙන්නේ නැහැ කියල. මම "අනේ පලයන් යන්න බං" කියල මම ඇහුව්වා "ඇයි උඹ මේ ඉක්මනට මැරෙනවද" කියල. මම ආයේ ඇහුව්වා "ඇයි උඹට මැරෙන්න මොකක් හරි හේතුවක් තියනවද" කියල. මට ඌ කිව්වා "සාලිය මචං, මට ජීවත් වෙන්න තරම් විශේෂ හේතුවකුත් නැහැ" කියල. මම "අනේ පලයන් බං යන්න කියල, මම කිව්වා "මම ඉක්මනට උඹව හමුවෙන්න එන්නම්, මම උඹට පස්සේ කතා කරන්නම්" කියල මම ෆෝන් එක තිබ්බා. 

මම ගෙදර ආවේ ඊට දවස් අටකට විතර පස්සේ, ඒ ඇවිත් මම පහුවදාම මගේ මිතුරාට කෝල් එකක් ගත්තා. මම කීප සැරයක්ම කෝල් කලත් ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා මම ආයේ දවසක ගන්නවා කියල හිතා ගත්තා. ඊට පසුදා මට කෝල් එකක් ආවා. 

                                              ඔයා සාලිය නේද ? 

                                              මම ඔව් කිව්වා 

                                              මම X ගේ GIRL FRIEND 

                                              ආ...ඇත්තද , කෝ X 

                                              මම ඇහුව්වා 

                                              එයා මීට ටික දවසකට කලින් SUICIDE

                                              කරගත්තා 

එහෙම කියල එයා තව මොන මොනවාද කියාගෙන ගියා. මට එයා ඊට පස්සේ කියපු දේවල් අහන්න තරම් හිත සන්සුන් කරගන්න බැරිව ගියා. එයා ඒ කියපු සියලුම දේවල් ඇතුලෙන් මට ඇහුනේ මගේ යාලුවා අන්තිමටම කියපු වචන ටික විතරයි. 

          " සාලිය මචං, මට ජීවත් වෙන්න තරම් විශේෂ හේතුවකුත් නැහැ" 

ඇත්තටම මේ සමාජය තුල සිදුවෙන සිදුවීම් සහ දිනපතා ඇසෙන දකින දේවල් සහ අත්දකින අමිහිරි අත්දැකීම් නිසා මට මගේ මිය ගිය හිත මිතුරා මට අවසාන වතාවට කියපු වචන ටික මට හැම විටම සිතේ රැව් දෙනවා. හද කම්පා වෙනවා. මේ සිද්ධියත් එක්ක මට මතක් වෙන්නේ අශෝක හඳගමගේ 'දියකැට පහන' ටෙලිනාට්‍යයේ දෙබස් ඛාණ්ඩයක් සහ 'පිටස්තරයා' පොතේ දෙබස් ඛාණ්ඩ කීපයක්. 


උඹ අයිති කොහාටද? මේ ලෝකෙටද? සුර ලෝකෙටද? යම ලෝකෙටද? බඹ ලෝකෙටද? කාලයක් උඹ ගමෙන් නගරයට විසි වුනා. ආයෙත් නගරයෙන් ගමට. ඒත් උඹ කොහාටද අයිති......උත්සාහ කරලා බලපන් ....කකුල් දෙකෙන් හිටගන්න පුලුවන්ද කියල

                                              දියකැට පහන 

                                                   -------

" මේ කළුගල් වේදනාවෙන් තෙත් වෙලා-ඒක පෙන්න තියනවා-ඒවා දිහා මම කවදාවත් දුකෙන් තොරව බැලුවේ නැහැ-ඔබලා අතරින් ඉතා කාලකන්ණි අයගෙන් උනත්-අන්ධකාර හදවත් තුලින් දෙවියන්ගේ ආලෝකය මතු වුනා-මම දන්නවා-මම ඔබෙන් ඉල්ලනවා-මේ පිළිරුව දිහා බලන්න කියල-

"මාව ටිකක් පණ ගැන්වුණා වගේ මට දැනුනා-මාස ගණනක් තිස්සේ මම මේ බිත්ති දිහා බලාගෙන උන්නා-ලෝකේ කිසිම දෙයක් වත්, කිසිම කෙනෙක්වත් මං මෙච්චර හොඳට අඳුනන්නේ නැහැ-මම හිතන හැටියට දැන් හුඟ කාලයක් වෙනවා-මේ බිත්ති ඇතුලේ මං මුණක් හොයන්ඩ වෙලා-ඒ මුණේ තිබුනේ ඉරේ පාටයි-රාගේ දැල්ලයි-ඒ තමා මරීගේ මුහුණ- මං ඒක දහ අතේ හෙව්වා-දැන් හමාරයි-මේ ගල්වල තෙතමනයක් මං දැක්කේ නැහැ-

                                             පිටස්තරයා 

                                                -------

ඔබ සිතයි ඇයි මම ප්‍රගීත් ගේ මේ "ආතති මුක්තය RELEASE OF TENSION" කියන මේ චිත්‍ර ගැන කතා කරන්නේ නැතිව, චිත්‍රයට කිසිසේත් අදාළ නොවන දෙයක් ගැන කතා කරන්නේ කියල. ඇත්තටම මම මේ කතා කරන්නේ ප්‍රගීත් ගේ චිත්‍ර ගැන කතාකරන්න තියන හොඳම විදිය. මේ මොහොතේ කවුරු හරි කෙනෙක් කලාත්මක භාවිතාවන්වල නිරත වෙලා එහි සෞන්දර්යාත්මක මානයන් ගැන තම කලාත්මක කෘති වලින් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවානම්, ඔවුන් ඇත්තටම මේ මොහොතේ පවතින සමාජ දේශපාලනය ගැන සවිඥානිකත්වයක් තියන අය නෙමේ. මේ සමාජ සන්දර්භය ඒ විලසින්ම පවත්වාගෙනයාමට සෘජුව හෝ වක්‍රව අනුබල දෙන තවත් අදේශපාලනික පිරිසක් පමණී. කලාකරුවෙකුට පවතින සමාජ සන්දර්භය තුල ක්‍රියාත්මක වන අගතීන් ගැන හෘද සාක්ෂියක් ඇතිවෙන්නේ නැතිනම්, ඔහු හෝ ඇය සැබෑ කලාකරුවෙකු නොවේ කිසිසේත්ම. සමාජය ගැන යම් කිසි දේශපාලන සවිඥානිකත්වයක් තියන කලාකරුවන් අතලොස්සක් අතරින් ප්‍රගීත් රත්නායක කියන්නේ , ඒ කීප දෙනා අතරින් එක්කෙනෙක්. ඔහුට තියනවා සමාජය ගැන කියවීමක්. ඒ කියවීම දේශපාලනිකයි. ප්‍රගීත් ඒ සමාජ දේශපාලනය ගැන ඔහු කියවන විදිය ඔහුගේ කලාත්මක ප්‍රකාශනය වන චිත්‍ර කලාව හරහා ඔහු උත්සාහ කරනවා ඒක කැන්වසයක් මතට ගෙන්න.

මේ "ආතති මුක්තය" චිත්‍රමය ප්‍රකාශනය සමාජයක් හැටියට අපි මේ මොහොතේ අත්විඳිමින් ඉන්න සමාජ අගතියෙ කැඩපතයි. මම චිත්‍රයේ ආකෘතිය හා අන්තර්ගතය ගැන වෙනමම කතා කලේ නැත්තේ, මම ඉහතින් සඳහන් කල පිටස්තර සාන්දෘෂ්ටික සංසිද්ධීන් ප්‍රගීත් ගේ මේ ආතති මුක්තය හරහා හොඳටම ප්‍රකාශමාන වන නිසයි. සමාජයේ පවතින අගතීන්වල ආතතිය ප්‍රගීත් කැන්වසයක් හරහා මුදාහැරලා තියන ආකාරය හරිම දේශපාලනිකයි. පොඩ්ඩක් හිතන්න මගේ මියගිය මිතුරාගේ ප්‍රකාශය අතර තියන ආත්මීය වේදනාව ගැන ...


             "සාලිය මචං, මට ජීවත් වෙන්න තරම් විශේෂ හේතුවක් නැහැ බං"

                 ------------------------------------------------------


                                     සාලිය ඉඳුරුවිතාන





1 comment:

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "7. බර කතා බහ" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

Texts

ආතති මුක්තය