Saturday, February 16, 2019

දේශපාලනික ප්‍රකාශනයක් ලෙස බැරලිසම් සහ චන්ද්‍රගුප්ත තේනුවර

දේශපාලනික ප්‍රකාශනයක් ලෙස බැරලිසම් සහ චන්ද්‍රගුප්ත තේනුවර
තමන් ජීවත් වන සමාජ, දේශපාලන හා ආර්ථික පරිසරයේ  ඇති වන යම් යම් අර්බුදකාරී තත්ත්වයන් තුළ ඇති වන ඝට්ටනයන් සහ තමා දක්වන ප්‍රතිචාරය ප්‍රතිනිර්මාණය කිරීම කලාකරුවාගේ ඍජු දායකත්වයයි. මේ මොහොතේ පවතින දේශපාලනික තත්ත්වය ප්‍රකාශ කරමින්, පාලනය බිඳ වැටීම, යුද්ධය, යුද්ධය නිසා ඇති වූ මනුෂ්‍ය ඝාතන හා වගකිවයුත්තන්  දෙසට වන එල්ලයක් චන්ද්‍රගුප්ත තේනුවරගේ දෘශ්‍ය කලා නිර්මාණ ගණනාවකින් වසර ගණනාවක් තිස්සේ සිදු කෙරේ.
ශ්‍රී ලාංකේය දේශපාලන යාන්ත්‍රණයේ සිදු වූ සහ සිද්ධ වෙමින් පවතින ඛේදවාචකයන්ට යුක්තිය ඉටු නොවීම සහ ඒ පිළිබඳව හෙළිදරව්වක් කිරීමට උත්සාහ ගන්නා මැදිහත් වීමක් ලෙස එය සඳහන් කළ හැකිය. එම තත්ත්වය ප්‍රශ්න කරමින් 1997 දී පැවැත්වූ බැරල්වාදය නම් දෘශ්‍ය කලා ප්‍රදර්ශනය දිගුවක් ලෙස 2005 දක්වා සාකච්ඡාවට බඳුන් කරමින් barrelism, neo barrelism සහ post barrelism ලෙස නිර්මාණාවලීන් ගණනාවක් ඉදිරිපත් කර ඇත. එම ඉදිරිපත් කිරීම් හා සාකච්ඡාවට බඳුන් කරන ඒ හා බැඳි දේශපාලනික ත්ත්වයන්ට ඇති කළ මැදිහත්වීම පිළිබඳව මෙම නිර්මාණ වලින් ප්‍රකාශනය වේ.
හුස්ම ගැනීමත් දේශපාලනික වන සමාජයක කලාකරුවකු ලෙස පවතින සමාජ මොහොතට සවිඥානික නොවී සිටීමට දේශපාලනික සිත්තරෙකුට නොහැකි බව තේනුවරගේ භාවිතය සාක්ෂියකි. කලාකෘති සඳහා වස්තුවිෂය තෝරා ගැනීමේ දී ආත්ම කේන්ද්‍රීය වස්තුවිෂය, දැනුම පාදක වස්තුවිෂය, සිද්ධි පාදක වස්තුවිෂය යන සීමාවන් ස්පර්ශ කිරීමට කලාකරුවකුට නිදහස තිබේ. නමුත් මානව පැවැත්මේ මූලික කොන්දේසීන් පවා උල්ලංඝනය වෙද්දී මනුෂ්‍යයෙක් ලෙස තමන්ගේ භාවිතය තුළ ක්‍රියාත්මක වීමට නොහැකි නම් අප මනුෂ්‍යයන් ලෙස අසමත් බව තේනුවර පෙන්වා දෙයි. ඔහුගේ භාවිතය තුළම ඔහු දේශපාලනික සිත්තරෙක් වන බව පෙන්වා දෙනු ලබන්නේ මානව රූපයේ සියලු කාය ව්‍යවච්ජේදයන් විනයක් සහිතව පරිසමාප්ත අර්ථයෙන් සම්පූර්ණ කර තිබියදීත් බැරල් වලින් යුද විරෝධී වන ආකාරය ද්‍රෘශ්‍ය කලාවෙන් පෙන්වා දුන් හෙයිනි.












Texts

ආතති මුක්තය