Sunday, May 17, 2020

Edward Munch - Screaming Painting and isolation


Edward Munch - Screaming Painting and isolation

විශ්වීය හුදෙකලාව ආයාසකර ලෙස අත්දකින අපට මේ මොහොත සාමුහික ලෙස ගත කරන්නට අවස්ථා උදා කරගැනීමට පොළඹවයි. එය අභ්‍යන්තර විධානයකින් සිදු වන දෙයකි. පුද්ගලයෙකුට හුදෙකලාව අත්විඳින්නට වීම සිදු වන්නේ ලෝකය තුළ හුදෙකලාවක් දැනීම හෝ ලෝකයේ හුදෙකලා බව හැඟීම වශයෙනි. එහි දී ආත්මීය හුදෙකලාව පෞද්ගලික කාරණාවක් ලෙස ගත හැකිමුත් එය කලාකරුවාගේ පරිකල්පනය අවදි වීමට මහත් බලපෑමක් ඇති කරයි. නමුත් ඇතුළාන්තයෙහි එල්බගෙන සිටීමට මෙම විශ්වීය හුදෙකලාව ඉඩ සලසන්නෙ නැත. 

චිත්‍ර කලාවේ ආත්මීය හුදෙකලාව නිරූපණය කළ සිත්තරු අතර එඩුවාඩ් මුන්ච්ගේ හැඬුම කෘතිය ඉහළ ජනප්‍රියත්වයක් ඇති කෘතියකි. Post impressionist සිත්තරු වඩාත්ම අවධානය යොමු කළේ රේඛාව, වර්ණය හා සංකේතාත්මක ස්වභාවය යන කරුණු වෙත වන අතර, එඩ්වඩ් මුන්ච් එම කලා ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටගත් කෙනෙකි.

එඩ්වඩ් මුන්ච් නූතන සිතුවම් වල ප්‍රකාශනවාදී පුරෝගාමියකු ලෙස පෙනී සිටී. මුන්ච් සොබා දහමෙන් එපිට ඇති ගැඹුරු ප්‍රකාශන ගුණයක් කෘති වලින් ප්‍රති නිර්මාණය කිරීමෙහි ලා කටයුතු කළ සිත්තරෙකි. ඔහුගේ විස්තර කිරීම තුළ වෙහෙසකර හැඟීම් කාංසාවකින් යටපත් වී ඇති අතර එහි පොලා පැනීමක් 'හැඬුම' නම් කෘතිය මගින් නිරූපණය වේ. 

ඔහුගේ 'හැඬුම' (Screaming) නම් කෘතිය (1983) ඩාවින්චිගේ මොනාලිසා කෘතියට පසු බොහෝ ලෙස කතා බහට ලක් වූ සිතුවමකි. එඩ්වාඩ් මුන්ච් ඔහුගේ "ආත්ම සිතුවම" ලෙස හැඳින්වූ දෙයින් හෙළි වන්නේ ඔහුගේ අභ්‍යන්තර කාංසාව පිළිබඳව හෙළිදරව් කිරීමකි. එහිදී අලංකාරය යන්න ඉක්මවා ගිය අවංකත්වය තුළ පුද්ගලික අර්ථයකට වඩා වැදගත්කමක් දැකගත හැකියි. ශබ්දයක් හා ශ්‍රවණ සංවේදීතාවක් සිතුවමින් ජනිත කිරීමට හැකි දෘශ්‍යමය තත්ත්වය මෙහි සුවිශේෂී ලක්ෂයකි. පිටත සුළඟෙහි උද්යෝගයක් ඇති අතර, ගමන් කරන පියවරක් පාසා කල්පනාබර බවකි. සුළඟ ඉතා දරුණු බැවින් තත්පරයකට කෑගැසිය හැකිය. මුන්ච් හට කෑගැසීමක් ඇසුණේ ඇත්ත වශයෙන්ම සිතුවමට ස්වයං චරිතාපදානය සහ පෞද්ගලිකත්වය ආත්ම කේන්ද්‍රීය ආරෝපණය කළ හැකි නිසාවෙනි. එම සිතුවමෙහි ජනප්‍රියත්වය විශ්වීය වේ.

මුන්ච්ගේ උපුටා දැක්වීම් වලට අනුව, එහි නිරූපණය වන්නේ ස්ව ආලේඛ්‍යයක් බව කියවේ. මෙහි දී කෑගැසීම නිර්මාණය කිරීම සුවිශේෂී මෙන්ම සිත්ගන්නා සුළු කරුණකි. එය මුන්ච් විසින් සිදුකරන ලද විප්ලවීය වෙනසකි. 

විශාල, අසීමිත කෑගැසීමක් හරහා ප්‍රකාශ වන මානසික ප්‍රකම්පනය සිතුවමක් ලෙස පින්තාරු කිරීමේදී, සිත්තරෙකුගේ භූමිකාව තුළ මුන්ච් දැවැන්තය. පුද්ගලයෙකුගේ චිත්තවේගීය වේදනාව දැනෙන්නේ කෙසේ දැ'යි ඔහු දැන සිටියේ ය. රතු අහස, නිල් ජලයට ඉහළින් දැල්වෙන විට සංතෘප්ත හා වෙනස් වර්ණ වලින් යුත් භූ දර්ශනය තීව්‍ර ය. මෙහි යථාර්ථයෙන් ඔබ්බට පමණක් නොවී අතිශයෝක්තියෙන් යුත් ආකෘතියක සිට ආක්‍රමණශීලීව චිත්තවේගීය ලක්ෂණ පෙන්වයි. එපමණක් නොව බොහෝ සිතුවම් වල නැති, කෑගැසීමක සර්වප්‍රකාරය මෙහි අන්තර්ගතව ඇති බව කිව හැකියි. 

එවන් ආත්මීය වේදනාවකින් තොරව පැන නැඟුණු විශ්වීය හුදෙකලාව තුළ අප හුදෙකලා නොවී සිටීමට දරන උත්සහයන් හැම අතින්ම දිස් වේ. ලොව සියලු උත්කර්ෂයන් ශූන්‍ය වූ පසු තත්ත්වය කුමක් වුවත් එය අතිශය නීරස බව කිව හැකියි. එඩ්වාඩ් මුන්ච්ගේ හිරු බැස යන හවසක ඇති උදාසීන, දීප්තිමත් බවකින් තොර අඳුරු කටුක බව සිත් තුළ සංස්පර්ශ කරයි. කෙසේ වුවත් හුදෙකලා වීම නැවත සාමූහිකත්වයෙන් ආරම්භ කිරීමට බව දැන, දුරින් හිඳිමින් ආදරය බෙදා ගනිමු.


No comments:

Post a Comment

Texts

ආතති මුක්තය