Friday, June 21, 2019

කාලයක් තිස්සෙ ඇතිවෙමින් තිබුණු උසිගැන්වීම් පුපුරා ගියා පාස්කු ඉරිදා ප්‍රහාරය එක්ක. දැන් අපි මොනවද කළ යුතු වෙන්නෙ?
මනුස්සයෙක් හැටියට මං කියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම මෙතන දි අසමත්. හියුමන් කියන කෑල්ල ඇතුළෙ මොකක්දෝ ෆේලියර් එකක් මේ රටේ තියෙනවා. දේවල් ලිහාගන්න ඉස්සරවෙලාම අපි තේරුම් ගන්න ඕන මානවවාදී කතිකාව ඇතුළෙ අපේ අසමත් බව. මේක වෙන ලෝකෙකින් ආපු කවුරුවත් කරපු දෙයක් නෙවෙයිනෙ. ලොකු ව්‍යසනයක් හිස් බවක් එක්ක අපි මනුස්සයො හැටියට දුරස් කරන්න අපේ ගෝත්‍රික බව, අනෙකා නුරුස්සන බව පොලා පැනීම හේතුවක්. ආගම, ජාතිය, කුලය පැත්තකින් තිබ්බම අද අත්විඳින මානවවාදයේ අසමත් බව පොදුවේ අපි හැමෝටම තර්ජනයක්. සමකාලීන සමාජය විග්‍රහ කරන්න බැහැ මේ වෙලාවෙ වෙන සිදුවීම් පැත්තක තියලා. අපි හුස්ම ගන්නවා වගේ දෙයක් මේ මොහොතේ සිදුවීම් සමාජයට බලපානවා කියන එක. ඒවට සවිඥාණික නොවී සමාජය තේරුම් ගන්න බැහැ. කලාකරුවො හැටියට අපි මුලින්ම කරන්න ඕනත් වෙන දේවල් කතා කරන එක නෙවෙයි මේ මොහොත කියවා ගන්න එක. අනෙක් හැමෝම කරන්න ඕනත් මේ මොහොතට සවිඥාණික වීම. අපේ මේ භූමියේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක භෞතිකයි. අපිට කොහොමත් එය මඟ හැරලා ගමනක් යන්න බැහැ.
මේ ගැටලුවට පිළියම පහර දීමද?
අනේ නැහැ. ඓතිහාසිකව අපි අනන්‍යතාවලට එකඟවෙලා තියෙනවා. අපි හැමෝම මොකක් හරි ආගමකට අයිතියි. මං විශ්වාස කරන්නෙ ආගම් හැම එකකම කාර්ය මිනිස්සු හික්මවීම කියලා. ඒත් මොන ආගම වුණත් ඒ තුළ අන්තවාදී නොහික්මුණු ප්‍රචණ්ඩ අය ඉන්න පුළුවන්. මුස්ලිම් වුණත් බෞද්ධ වුණත් එහෙමයි. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගත්තම ඒක අන්තවාදී මුස්ලිම් පිරිසකගෙ වැඩක්. ඒ සිද්ධිය කොහෙත්ම අහිංසක නැහැ. නමුත් ඊට පස්සෙ සිංහල බෞද්ධ හෝ කතෝලික සමාජයේ සමහරු හැසිරුණු විදියත් අහිංසක නැහැ. මහ ජාතිය කියලා හිතාගෙන අපිටත් ශුද්ධවන්තයො වෙන්න බැහැ. අපිත් ඓතිහාසිකව වැරදි කරල තියෙනවා. මේ මොහොතෙත් වැරදි කරමින් ඉන්නවා. පෙරළා පහරදීම ලෙයට ලෙය කියන්නෙ විසඳුම නෙවෙයි. සමහර වෙලාවට අපි දැනුවත්ව දුර්වල වෙන්න ඕන. දැනුවත්ව දුර්වල විය යුත්තේ මහා සමාජය වෙනුවෙන්මයි. සමහර දේවල්වලට උත්තර හොයද්දි එහෙම තමයි. මස් රාත්තලම ඉල්ලන්න බැහැ. සහජීවනය උදා කර ගනිද්දි අනෙකා දරා ගැනීම, ඉවසීම වෙනස්කම් කියවීම වැදගත්. ඒ කියවීම තුළන් සමහර ප්‍රශ්න විස‍ඳගන්න පුළුවන්. මං ඉස්සරහ ඉන්නෙත් මනුස්සයෙක්. ඌ මට වඩා වෙනස් වුණත් මං වෙනස් වුණත් අපි දෙන්නම භෞතිකව එකයි. අපිට සමාජය අන්දපු දෘෂ්ටිවාද නිසා තමයි මේ පීඩනය. ඒක ගැලෙවුවම හරි සැහැල්ලුයි කියන අදහසයි ඇති කර ගන්න ඕන.

No comments:

Post a Comment

Texts

ආතති මුක්තය