Friday, March 29, 2019

මානසික කාන්සාව ස්ව ආලේඛ්‍ය ලෙස - වින්සන්ට් වැංගෝ

මානසික කාන්සාව ස්ව ආලේඛ්‍ය ලෙස - වින්සන්ට් වැංගෝ
චිත්‍ර කලාව දෙසට අවධානය යොමු කිරීමේ දී මඟ හැරිය නොහැකි කලාකරුවකු ලෙස මෙන්ම දැවැන්ත ප්‍රතිරූපයක් හිමි කලාශිල්පියෙකු ලෙස වින්සන්ට් වැංගෝ හඳුන්වා දිය හැකිය. ළමා වියේ දී චිත්‍ර ශිල්පියකු වීමට නැඹුරුතාවක් නොතිබූ ඔහු වැඩිහිටියකු වූ පසු චිත්‍ර කලාව වෙත අවතීර්ණ වූ බව සඳහන් වේ. ඔහුගේ මුල් කාලීන සිතුවම් වල වස්තුවිෂය වී ඇත්තේ ස්වාභාවික භූ දර්ශනයන් සහ ගොවි බිම් දර්ශනයන් ය. ඔහු එම යුගයේ භාවිත කරන ලද්දේ අඳුරු පැහැයට සමීප වූ වර්ණයන්ගෙන් යුත් වර්ණාවලියකි. පසුව වර්ණ සඳහා බලපෑම් කළ ශිල්පියකු ලෙස කැමිල් පිසාරෝ සඳහන් කළ හැකිය. ඔහුගේ අඳුරු පැහැයට සමීප වූ වර්ණ වලට ආලෝකය සඳහා දීප්තිමත් වර්ණ භාවිතා කිරීමට එය මනා පිටුවහලක් විය. සිතුවම් සඳහා වස්තුවිෂය කුමක් වුවත් ශෛලිය දැඩි ලෙස ප්‍රකාශයට පත් කිරීම ඔහුගේ  විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂයයි. අඳුර - ආලෝකය නිර්මාණ වල ශිල්පීය තාක්ෂණික ගුණයන් තීව්‍ර කිරීම සඳහා බහුලව යොදා ගන්නා උපක්‍රමයකි. ශක්තිමත් බුරුසුවක් උපයෝගී කර ගනිමින් රිද්මය සමපාත ලෙස පවත්වා ගෙන යාම සඳහා ප්‍රබලතාවෙන් යුක්තව මෙන්ම ආවේණිකත්වය නිරූපණය කරයි. ඝණ ලෙස පින්තාරු කරමින් ගොඩනැංවීමක් ලෙස මෙහෙයවන ආකාරය සැබවින්ම පිරික්සා බලන කල මනාව පෙනී යයි. මේ අයුරින් භූමි දර්ශන පමණක් නොව පුද්ගල රූප, ස්ව ආලේඛ්‍ය සිතුවම් ප්‍රමාණාත්මකව ගත් කල විශාල සංඛ්‍යාවක් ඔහුගේ චිත්‍ර නිර්මාණ අතරට එක් විය. ඔහු සවිඥානිකව පුද්ගල රූප කෙරෙහි යොමු වූවා සේම ස්ව ආලේඛ්‍ය කෙරෙහි වූ නැඹුරුව පුද්ගල අනන්‍යතාව කේන්ද්‍ර කරගෙන වූවක් බව ප්‍රකාශ කළ හැකිය. කලාවෙන් පරිපූර්ණ වීම අපේක්ෂා කරගෙන දිගුකාලීන නිර්මාණ කාරයයෙහි යෙදුණු ශිල්පියකු ලෙස සඳහන් කළ හැකිය. වැංගෝ තම ජීවිතයෙහි අස්ථාවරත්වය සහ දුර්වලත්වය කැන්වසය මත වර්ණ හා නොසන්සුන් brush stroke මගින්  තියුණු ලෙස වෙනස්කම් දක්වමින් තාක්ෂණික හා කලාත්මක කාර්‍යයක නියැලී ඇති බව කිව හැකි ය. වැංගෝගේ සිහිනය වූයේ, ඔහුගේ මිතුරෙකු වූ චිත්‍ර ශිල්පී පෝල් ගොගෑන් සමග ආල්ස් හි චිත්‍ර ජනපදයක් පිහිටුවීමටය. ගොගෑන්ගේ පැමිණීමෙන් පසු ඔවුන්ගේ පුද්ගලිකත්වයන් ගැටුම්කාරී තත්ත්වයට පත් වූ අතර ඔවුන් හට එකට වැඩ කිරීමට නොහැකි විය. ඔවුන් නිතරම සුබවාදී බවක් එහි නොවූ අතර එක් හුවමාරුවකින් පසුව වැංගෝ තම ස්වයං පාලනය නැති කර ගොගෑන් වෙත පහර දුන්නේය. එයින් ඔහුගේ මානසික වියවුල දක්වා ගමනක් විය. උපස්තිථිවාදී බලපෑම් ඔහුගේ කෘති කෙරෙහි බොහෝවිට සාකච්ඡා කෙරේ. ක්‍රමානුකූලව තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය භාවිතා කරමින් මෙන්ම විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරයි. මුහුණ නිර්මාණය කෙස් සඳහා ප්‍රබල ලෙස අවකාශ වෙන් කරන අතර හිසකෙස් මුහුණෙහි හැඟීම් ප්‍රකාශනය පිළිබඳව උපකාර වේ. සාධනීය ලක්ෂණ ව්‍යුහගත කරමින් වර්ණ හා අවකාශය භාවිතය පමණක් නොව සංරචනයට එහා ගිය කාරණා මෙහි දී බලපවත්වයි. වැංගෝට දැඩි ලෙස මානසිකව පීඩා විඳීමට සිදු විය. ඔහුගේ මානසික ව්‍යාකූල තත්ත්වය නිසා ඔහුගේ  අඳුරු අවපාත හා අවසානයේ දී මරණයට වගකිව යුතු වුවත් වර්ණයෙන් ඇති වන චිත්තවේගික බලපෑම හා එහි ඉහළම අන්තරාලය භාවිතා කරන අන්දම පිළිබඳව අද්විතීය අවබෝධයක් සහිතව ඔහු ආශ්වාදජනක ලෙස නිර්මාණ කාර්යෙහි නියුක්ත විය. ස්ව ආලේඛ්‍ය සිතුවම් ගණනාවක් නිර්මාණය කරමින් ආත්ම චාරිකාවක නියැලීම හා ගවේෂණය කිරීම පිළිබඳව දෘශ්‍ය සාධක මේ යැයි ඉදිරිපත් කළ හැකිය. ඔහුගේ සිතුවම් දෙස බලන විට මෙම ගුණාංගය නිරතුරුව හඳුනාගෙන ඇති අතර, ඔහු විසින් නිර්මාණය කරන ලද සිතුවම් සඳහා ඔහුට කලා ඉතිහාසයක් නිර්මාණය වී ඇත. එම කලා ඉතිහාසයේ ජනප්‍රිය කලාශිල්පීන් අතරින් වින්සන්ට් වැංගෝ බවට පත් වී ඇත්තේ මොහුයි. සමස්තයක් ලෙස ගත් කල වින්සන්ට් වැංගෝ ගේ ස්ව ආලේඛ්‍ය සහ පසුකාලීන කෘති වල නිරූපණයත් ඔහුමයි. ඒ පින්සල් පහරවල් සහ සියලුම දේවල් වල මතුපිට ස්වභාවය ගැන ඔහුගේ ඇතුළත ස්වභාවය එළියට පොළා පැනීමකි. සමස්තයක් ලෙස අරමුණක් නැති චංචල සිතුවිලි වල වලප්නාව, ඔහුගේ ලෙලදෙන, සෙලවෙන, ඇඹරෙන, දඟලන, නලියන සහ දිගට දිවෙන පින්සල් පහරවල් සහ වර්ණ පදාසයන් ගෙනහැර දක්වන්නේ ඔහුගේ ලෝකයේ මානසික කාන්සාවයි. 



No comments:

Post a Comment

Texts

ආතති මුක්තය