Friday, March 29, 2019

කලාකරුවකු ලෙස අප නඩත්තු කරන සාරය කුමක්ද?



තවදුරටත් චිත‍්‍ර හා මූර්ති ලෙස ඒකීය අදහසක් ලෙස පරිපූර්ණ වී තිබූ අදහස දෘශ්‍ය කලාව ලෙස පුළුල් වීමේදී චිත‍්‍ර ඇඳීම වෙනුවට චිත‍්‍ර හැදීම දක්වා ගමන් කර ඇත. මා විශ්වාස කරනුයේ එය ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් දියුණු අවස්ථාවක් ලෙසය. තවදුරටත් ශිල්පියෙකුට තමන්ගේ ප‍්‍රකාශනයට චිත‍්‍ර කලාවේ මූලික ව්‍යාකරණ වන වර්ණ, රේඛා, හැඩතල සහ අවකාශය පමණක් භාවිත කළ යුතුයැයි නීතියක් පනවා ගත යුතු නැත. මන්ද මේ වන විට කලාවේ සීමාවන් පුළුල් වී ඇති හෙයිනි. මෙසේ ඓතිහාසිකව සමාජ දේශපාලනික කාරණාවන්ගේ ඇත්ත තත්ත්වයන් සමස්ත සමාජයේ සාරයන් සමග ගැටගැසුණු තත්ත්වයක් තුළ ඒවා වස්තු විෂයන් කොට නිර්මාණකරණයට යොමු වීම හා ගොඩනගන දෙයත් ගොඩනගන්නා අතරත් වෙන් කළ නොහැකි දේශපාලනික සම්බන්ධයක් අද දවසේ අපට සොයා ගත හැකිද? අඩුම තරමින් තමන්ගේ කෘතිය තුළ දේශපාලනික වන කාරණාව පසුවට තැබුවත්, තමන්ගේ ප‍්‍රකාශනයේ තාක්ෂණික කාරණාටික වත් සාක්ෂාත් කර ගන්නවාද? නැතහොත් කලාවේ භාෂාවට අපි කොතෙක් දුරට ඇතුල් වී සිටිනවාද? සහ තමාගේ කෘතියට කොතෙක් දුරට වගකියනවාද? ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැත්නම් කලාවේ කතිකාවට අප තිබෙන සම්බන්ධය කුමක් කියා තේරුම් ගනිමින් ඉන්නවාද? මේවා මග හරිමින් අප කලාව යැයි කියමින් කරමින් ඉන්නේ මොනවාද?

ඝන වූ සියලූ දේවල් වාෂ්ප කිරීම ප‍්‍රාග්ධනයේ තර්කනයයි. එවිට ප‍්‍රාග්ධනයට අවශ්‍ය තැනට ගලාගෙන යන්නට පුළුවන. සහ එය වෙනස් කරන්නට පුළුවන. ඒ අර්ථයෙන් ගතහොත් අපේ ඇත්තම ඇත්ත සම්බන්ධතා අතරට ප‍්‍රාග්ධනය එහෙමත් නැත්නම් වෙළෙඳපොළ පොලා පැන අවසානය. කලාකාරයෙකු ලෙස ඔහු මේ දක්වා නඩත්තු කළ සාරය අද අහිමි කරගෙන තිබේ. තවදුරටත් කන බොන, රමණය කරන, ඇවිදින කවන්ධ බවට පත් වූ මිනිසුන් සමග අපට තව දුරටත් තිබෙන සම්බන්ධය කුමක්ද? මේ මොහොත වන විට අපි ප‍්‍රාග්ධනය රජයන, ආදරය ඩිජිටල් වන යුගයකට එළැඹ සිටිමු. ඩමි මනුෂත්වයෙන් පිරි සමාජය හෘදය සාක්ෂිය ගණිකා වෘත්තියේ යොදවමින් සිටී. ආදරය වෙනුවට එකිනෙකාගෙන් බලාපොරොත්තු වන්නේ ලාභයයි. අනාගතය අනාගතයට අයිති දෙයක් නොව වර්තමානයට අයිති දෙයක් බවට පත් වී ඇත. අප පශ්චාත් (මනස අහිමි* මිනිසුන් වී ඇත. ළඟම කෙනා පාවාදෙන්නෙකු බවට පත් වී ඇත. නරුමවාදය සොබාවික වී ඇති අතර දේශපාලනය අදේශපාලනය වී ඇත. කලාව (කලාව නොවන) දෙයක් බවට පත් වී ඇත. හොඳ මිනිසුන් වෙනුවට ලොකු මිනිසුන් බිහි වී ඇත. අනන්‍යතාව භාණ්ඩවලට මාරු වී ඇත. භාණ්ඩ අනන්‍යතාව බවට පත් වී ඇත. අනන්‍යතාව අර්බුදයක් බවට පත් වී ඇත. අර්බුදය විලාසිතාවක් බවට පත් වී ඇත. සමාජය ලූම්පන් වී ඇත. මෙවැනි සමාජ අවකාශයක කෘතිය සහ කෘතිය ගොඩනගන්නා අතර ඇතිවන සම්බන්ධයේ දේශපාලනික හැසිරීම කුමක් විය හැකිද? නිම නොවන වර්තමානයක වෙළෙඳපොළ මගින් සාදා දෙන ලද ආශාවක පදිංචි වීමට ඇබ්බැහි වී ඇති මිනිසුන්ට තවදුරටත් කලාව යනු ආත්ම ගවේෂණය කරන ඉසව්වක්ද? එහෙමත් නැත්නම් දේශපාලනික භාවිතයක යෙදීමට තිබෙන වැඩබිමක්ද?

No comments:

Post a Comment

Texts

ආතති මුක්තය