Sunday, April 9, 2017

ඇකඩමියාවෙන් පිට හිතුවක්කාර සිත්තරා




ප‍්‍රගීත් රත්නායක

ලංකාවේ චිත‍්‍ර කලාව සම්බන්ධ යෙන් නිල සහතිකයක් දෙනු ලබන එකම ආයතනය (රාජ්‍ය) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයි. එය ඓතිහාසිකව මෙන්ම මේ මොහොත වන තෙක්ම අඛණ්ඩව පවතී.

ඇකඩමික් නැති ඇකඩමියාව තුළ මේ මොහොත යනු ඕනෑම දෙයක් කළ පමණින් කලාකරුවකු ලෙස බෞතීස්ම වීමට කඩදාසියක් ලැබෙන තැනක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටින තත්ත්වයකි. රජයේ කාර්මික ආයතනයක සිට සෞන්දර්ය අධ්‍යයන ආයතනය දක්වාත් මේ මොහොත වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය දක්වාත් රූපාන්තරණය වූ මෙම ඓතිහාසික ආයතනයෙන් බිහි වූ විශිෂ්ට ශිල්පීන් ප‍්‍රමාණය ගණන් කළ හැකි සංඛ්‍යාවකි. හඳුනාගත හැකි හැඟවුමක් සහිත අනන්‍යතාවකින් යුත් පරිපුර්ණයැයි සිතිය හැකි සිත්තරුන් කිහිපදෙනෙකු මේ භූමියෙන් ශ‍්‍රී ලංකා දෘශ්‍ය කලා කෙතට මුදා හැර ඇති බව කාලරේඛීය අදහසක් ඇති කෙනෙකුට හඳුනාගත හැකිය. හැමෝම හොඳ ශිල්පීන් ලෙස මෙයින් එළියට නොඑන අතර එහෙම නොවන අනෙක් අය හොඳ ගුරුවරුන් ලෙස එළියට එනවාද යන ප‍්‍රශ්නය අප ඉදිරියේ යථාර්ථයක් බව ඒත්තු ගන්වමින් සිටී. (හොඳ නරක යනු සාපේක්ෂ අදහසක් හෙවත් සහ-සම්බන්ධ ප‍්‍රතිපක්ෂයක් ලෙස)

ඇකඩමියාව ඇතුළත නම් පිටත යනු ඇකඩමික් නොවන කලාපයයි. මෙම කලාපය තුළ (ඇකඩමියාවෙන් පිට) නිදහසේ චිත‍්‍ර අඳින එහෙමත් නැත්නම් ආර්ට් කරන ශිල්පීන් අප හඳුනාගත යුතු සූත‍්‍රය කුමක්ද? ඉනජේ ඩිල්ෂාන් ප‍්‍රනාන්දු යනු මහපාරෙන් (ඇකඩමියාවෙන් පිට ) අපට හමුවන මඟහැරිය නොහැකි චිත‍්‍ර අඳින මනුස්සයෙකි. ඔහු මගේ පුද්ගලික සම්බන්ධයක් තුළ හමුවන යාළුවෙකුවත්, ඥාති සම්බන්ධයක් තුළ හමුවන යාළුවෙකුවත්, සහෝදර සම්බන්ධයක් තුළ හමුවන සහෝදරයෙකුවත් සහ වෙන කුමන ගෝත‍්‍රික තැනකින් හමුවන සම්බන්ධයක් මත හඳුනාගත් කෙනෙක් නොවේ. හඳුනාගැනීමේ එකම සහ විශේෂම ‘දෙය’ වූයේ ඔහු ඇකඩමියාවෙන් පිට අපූරුවට චිත‍්‍ර ඇඳීමයි. අපි ඩිල්ෂාන්ගේ චිත‍්‍ර බලමු. කියවමු.

බේරුවල ධීවර සංස්කෘතිය සමග කේන්ද්‍රීය සම්බන්ධයක් ඓති හාසිකවත් මේ මොහොත දක්වාත් උරුමකම් කියන ඩිල්ෂාන්ට චිත‍්‍ර ඇඳීම සදහා උත්තරාරෝපිත එහෙමත් නැත්නම් තමන්ට නොදැනෙන අමුතු, යාන්ත‍්‍රික මාතෘකා අවශ්‍ය වූයේ නැත. බේරුවල ජන ජීවිතයේ ගොඩක් මිනිසුන්ගේ මහා පොදු සාධකය ලෙස රැුකියාව වූයේ ධීවර කර්මාන්තයයි. ඉතින් ඩිල්ෂාන්ගේ කැන්වසය මත ඒ ඒ මිනිස්සුන්ගේ සතුට, කඳුළ, වේදනාව, දහදිය මහන්සිය තැවරිණ. එය බොහොම ප‍්‍රකාශනාත්මක සහ කේන්ද්‍රීය විදියට අපූරුවට ගොනු කෙරිණි. ලස්සන සුන්දර වෙරළ තීරයේ චිත‍්‍ර අදින ඩිල්ෂාන් එම ප‍්‍රදේශයටම අනන්‍ය සිත්තරෙක් විය. මා දන්නා යුරෝපීය චිත‍්‍ර කලා ඉතිහාසය තුළ ස්වයං ආලේඛන වැඩිපුරම ඇන්ද චිත‍්‍ර ශිල්පීන් දෙදෙනෙකි. ඒ රෙම්බ්රන්ට් වෑන් (1606 – 1669) සහ වින්සන්ට් වෑන් ගෝ (1853-1890). ඒ දෙන්නාගෙම ස්වයං අලේඛන අවුරුදු 300කට සහ අවුරුදු 100කට වඩා ගත වෙලාත් මේ වනතෙක් ඒවා කතා කරයි. ඒ එම ශිල්පීන් දෙදෙනාගේ ස්වයං ආලේඛනවල තිබෙන ශක්තිය නිසාය. එම දෙදෙනාම චිත‍්‍ර කලාවේ භාෂාව ගැන හිතුවා මිසක කතිකාව ගැන හිතුවේ නැත. වැඬේ කළාට පසු කතිකාව ගොඩනැගුණි.

ශ‍්‍රී ලංකාවේ කලා ඉතිහාසය නිරීක්ෂණය කරන කෙනෙකුට ස්වයං ආලේඛන එක දිගට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රකාශනාත්මකව එළියට දැමූ ශිල්පියෙකු ලෙස ඉනජේ ඩිල්ෂාන් හඳුනාගැනීමට ලැබීම සතුටට කාරණාවකි. ඩිල්ෂාන්ගේ ස්වයං ආලේඛන කතා කරයි. දිල්ෂාන් කතා කරන්නේ නැත. කතා නොකර වැඩකරන ඩිල්ෂාන්ගේ වැඩ ගැන කතා කරමු. එය ඩිල්ෂාන්ට විතරක් නොව කලා සමාජයටම යහපත් හෙටක් උදා කරනු ඇත. මන්ද මේ ආකෘතිය සහ අන්තර්ගතය අතර අන්තර් සම්බන්ධයක් නැති සමාජ මොහොතකි. මතුපිටින් පෙනෙන විස්තරය අබිබවමින් ඇතුළතින් පෙනෙන හැඟීම එළියට ඇද දමමින් ඩිල්ෂාන් අඳින ස්වයං ආලේඛන, බිඳ වැටීමත්, අතහැර දැමීමත්, වික්ෂිප්ත භාවයත්, වේදනාවත්, දමා ගැසීමත් මගින් එය බලන්නිය නැවතී බලන්නියක බවට පත් කරයි. ඩිල්ෂාන්ගේ ස්වයං අලේඛන හිතුවක්කාරිකමේ උච්චතම අවස්ථාවයි. ඒ කියන්නේ ඩිල්ෂාන්ගේ ආලේඛන බලන්නියගේ ඇහැට අනින දෙයක් බවට පත් වෙයි. එය විප්ලවීය වැඩකි.

බේරුවල ධීවර කර්මාන්තය ආශ‍්‍රිත ජීවන විලාසයන් ප‍්‍රකාශ නාත්මකවත් අභ්‍යන්තරික හැඟීම් එළියට ඇද දමමින් අඳින ආලේඛනත් ද්‍රව්‍ය සම්පිණ්ඩනයන් මගින් ගොඩනඟන කතන්දරත් හරහා කැන්වසය මත එහා මෙහා යන ඩිල්ෂාන් අපට මේ මොහොතේ දෙයක් කියමින් ඇත. මගේ පරම්පරාවේ සමහරුන් කැන්වසය ඉදිරිපිට පළමු හිටගැනීමේදීම වෙළඳ පොළට සවිඥානික වීමත් කෘතියට සවිඥානික නොවීමත් යන පසුබිම තුළ ඩිල්ෂාන් ඔහුගේ අතින් අඳින ලද චිත‍්‍ර සල්ලිවලට ඉල්ලා සිටියදීත් එය නොදී ඉන්න තරමට එඩිතර වෙයි. සෑම ශිල්පියෙකුම දේශපාලනික කාරණා ඔස්සේම චිත‍්‍ර අඳින්න ඕනෑය කියා මා විශ්වාස කරන්නේ නැත. මන්ද චිත‍්‍රයේ භාෂාව හොයා ගැනීමත් ඒ තරමටම බරපතළ කාරණාවක් නිසාය. වැන්ගෝ අපට හමුවන්නේ දේශපාලනික සිත්තරෙකු හැටියට නොවේ. ඔහු චිත‍්‍රයේ කතිකාව ගැන නොහිතා චිත‍්‍රයේ භාෂාව ගැන හිතූ කෙනෙකි. ඒ අර්ථයෙන් ගත්තාම වැන්ගෝගේ චිත‍්‍රවල නැත්තේ මොනවාද? මේ මොහොතේ ක‍්‍රියාව වෙනුවට වචන හමුවන සමාජයක චිත‍්‍ර කලාවේ භාෂාව ඩිල්ෂාන් හොඳට හසුරවයි. එහෙත් එහෙම කළ ඩිල්ෂාන් මේ දක්වා ආශාවත් එක්ක තමන්ගේම අතින් ඇඳපු චිත‍්‍ර එක මොහොතක ගිනි තියයි. චිත‍්‍ර කලාවේ කතිකාව ගැන නොසිතා චිත‍්‍ර කලාවේ භාෂාව ගැන හිතමින් වැඩ කළ ඇකඩමියාවෙන් පිට වැඩ කළ, චිත‍්‍ර සල්ලිවලට ඉල්ලා සිටියදීත් එය නොදී හිටි, කැන්වසය ඉස්සරහ බය නොවී හිටි, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී හිටි, කෙටියෙන්ම කියතොත් ආශාවත් එක්ක වැඩ කළ ඩිල්ෂාන් කාලය ශ‍්‍රමය ධනය වැයකරමින් ගොඩනගන ලද චිත‍්‍ර සියල්ලම එක මොහොතකින් තමන්ගේම දෑතින් අළු බවට පත් කරන්න තරම් එඩිතර වෙයි. චිත‍්‍ර අඳින කෙනෙකු හැටියට එය වේදනාකාරී අත්දැකීමක් ලෙස තාමත් මසිතේ හොල්මන් කරයි. අපට එම කාරණාව ලේසියෙන් මඟ හැර යා නොහැක. එහෙත් (ඔහු නැවත චිත‍්‍ර අඳිනවා දකින්න කැමති) බොහෝ අය ඔහුට ශක්තියක් වෙලා වී සිටිති. අපි හැමෝම ආයෙත් ඔහු ලස්සනට චිත‍්‍ර අඳිනකම් බලා සිටිමු. (‘ලංකාවේ වින්සන්ට් වැන්ගෝලා හැදෙන්නේ නැත්තේ ශරීරවල ප‍්‍රශ්නයක් නිසා නෙවි කතිකාවේ ප‍්‍රශ්නයක් නිසා’ : දීප්ති කුමාර ගුණරත්න, කලාව සහ විසංයෝජනය)


No comments:

Post a Comment

Texts

ආතති මුක්තය