Monday, June 1, 2020

එස්. එච්. සරත්


රජයේ ලලිත කලායතනයේ එනම් වර්තමාන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ  (1968-1973) කාල වකවානුවේ දී චිත්‍ර කලාව පිළිබඳව පස් අවුරුදු පාඨමාලාව හැදෑරූ එස්. එච්. සරත් අනතුරුව තායිලන්තයේ Silpkon විශ්වවිද්‍යාලයේ කලාව පිළිබඳව පශ්චාත් උපාධිය සම්පූර්ණ කරයි. 1995 දී මුද්‍රණ ශිල්පය පිළිබඳව පාඨමාලාවක් හදාරන ඔහු කලාව පිළිබඳව ඇකඩමික් පුහුණුව වර්ධනය කර ගත්තේ ය.
නිදහස් චිත්‍ර ශිල්පියෙකු ලෙස එස්. එච්. සරත් කලාවේ නියැලෙමින් ලොව පුරා ප්‍රදර්ශන ගණනාවක් පැවැත්වී ය. ඔහුගේ කලා නිර්මාණ වලට ලෝකයේ බොහෝ රටවල් ගරුබුහුමන් දක්වා ඇත. දශක ගණනාවක් තිස්සේ ඔහු කලා නිර්මාණ කරමින් ප්‍රදර්ශන පවත්වමින් රසික පිරිස අතර තම සංවාදය සිදු කළේ ය. වේදිකාව කලාගාරය බවට පත් කරගනිමින් තම අදහස්, ආකල්ප මතවාද සිතුවම් මගින් ප්‍රකාශ කිරීම සහ සමාජය, දේශපාලනය උපහාසයට ලක් කිරීම සිදු කර ඇත. එනම් කලාකරුවාගේ සිතීමේ මාදිලිය වන ඇඳීම උපයෝගීතාවට යොදාගෙන සමාජ තේමාවන් හා ගැටලු ඉදිරිපත් කරයි.
දේශීය සාම්ප්‍රදායික බිතුසිතුවම් වල ඇති, චරිත හා සිදුවීම් ආභාසයට ගනිමින් නව නිර්මාණ ප්‍රමාණාත්මකව විශාල අගයක් ප්‍රතිනිර්මාණය කර ඇත. ඔහුගේ මාධ්‍ය ලෙස ඇක්‍රිලික්, තෙල් සායම් සහ රේඛා චිත්‍ර ද වේ. තේමාත්මක අභිලාෂයන් ගෙන හැර දැක්වීමේ දී මෙම කෘති වල අන්තර්ගතය සඳහා ජන විඥානය ක්‍රියාකළ ආකාරය උපහාසයට ලක් කර ඇති අයුරු කියවා ගත හැකිය. ඔහුගේ කලාකෘති නිර්මාණාත්මක අවි ගබඩාවකි. සමාජ විවේචනය, ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස තමුන්ගේ මාධ්‍ය තුළ හිඳිමින් කළ හෙළිදරව්ව යුද්ධය ප්‍රකාශ කිරීමකි. එය ක්‍රියාකාරී මානයකි.
මේ ආකාරයට කලා දිවියේ දිගු, වෙහෙසකර හා දුෂ්කර ගමනක් ගිය ඔහු ඔහුගේ අධ්‍යයනයන්ගෙන් හා පුහුණුවෙන් කළ මෙහෙය සුවිසල් ය.




No comments:

Post a Comment

Texts

ආතති මුක්තය