Monday, August 13, 2018

‘කලාව එන්නෙ උපතින් නෙමෙයි...’

‘කලාව එන්නෙ 
උපතින් නෙමෙයි...’

- දෘෂ්‍ය කලා නිර්මාණවේදී ප‍්‍රගීත් රත්නායක -
----------------------------------------------------------------------------------
දෘෂ්‍ය කලා නිර්මාණවේදී ප‍්‍රගීත් රත්නායක ඉදිරිපත් කරන පස් වන ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය පසුගිය 20 වැනි දින ආරම්භ විය. එම චිත‍්‍ර ප‍්‍රදර්ශනය අගෝස්තු 08 වැනිදා දක්වා බම්බලපිටිය Paradise Road Gallery හිදී පැවැත්වේ. ”එකලස් රූප” ලෙසින් නම් කර ඇති මෙම චිත‍්‍ර ප‍්‍රදර්ශනය ප‍්‍රගීත් මෙතෙක් ගෙන ආ සිය අනන්‍යතාවය සුනු විසුනු කර තැබූ අලුත් නැවුම් පියවරකි. මෙම සාකච්ඡාව ඒ වෙනුවෙනි.
-----------------------------------------------------------------------------------
## අපි මේ සාකච්ඡාව ඔබේ ජීවිත කතාව ඔස්සේ පටන් ගමු. චිත‍්‍රයට ඔබ එළඹෙන්නෙ කොහොමද ?
මගේ කලාව බිහි වෙන්නෙ, මගේ ස්වාභාවික පවුල ඇතුළෙ. මගේ තාත්තා ප‍්‍රදේශීය කලාකාරයෙක්. ඔහු ඇකඩමියාවට ගිහිල්ලා නැති, කලාව සම්බන්ධව ප‍්‍රාදේශීයව ව්‍යවහාරික කලාවත් එක්ක වැඩ කරපු කෙනක්. ඒ ඉතිහාසයත් එක්ක මට ආවා ස්වාභාවික පවුල. පෝට්රේට්ස් අ`දින එක, තොරණ් ගහන එක, පිරිත් මණ්ඩප, කටවුට්, බැනර්, ස්ක‍්‍රීන් ප‍්‍රින්ටින් එහෙම දේවල් තමයි තාත්තා කළේ. නමුත් ප‍්‍රාදේශීය කලාව ඇතුළෙනුත් මගේ ඇඟට දේවල් ටිකක් එනවා.
## ඒ කියන්නෙ ඔබේ පළමු ගුරුවරයා තාත්තා ?
නැහැ. මගේ පළමු ගුරුවරයා ජේවීපී එක. ජවිපෙ ගැන ෆස්ට් ලව් එකේ පෙම්වතිය ගැන තිබෙන හැඟීම තිබෙනවා මට. මොකද මම ශික්ෂණය වුණේ ජේවීපී එකෙන්. ඒ නිසා සමාජීයව ගත්තාම, ඒ කියන්නෙ මම කියන කෙනා හොයා ගන්න, වෙනස් විදියකට හිතන්න, ස්වයං විවේචනයක් ඇතුළෙ දකින්න, අන්න ඒ ටික ගෙනාවෙ ජේවීපී එක. ඒක මාර කාරණයක්. ඊට පස්සෙ ජේවීපී එකෙන් මම ඛණ්ඩනය වෙනවා. මොකද මගේ අයියා සුජිත් රත්නායකත් එක්ක මම කොළඹ එනවා. ඒ කියන්නෙ කලාව සම්බන්ධවත් ජීවිතය සම්බන්ධවත් සමාජය සම්බන්ධවත් බලන විධිය මම ඛණ්ඩනයට ලක් කර ගන්නෙ මගේ සහෝදරයා සුජිත් රත්නායකත් එක්ක කොළඹ ආවට පස්සෙ.
## කොළඹ ආවට පස්සෙ ඔබේ පසුබිම හැදෙන්නෙ කොයි ආකාරයටද ?
මම ස්වාභාවික පවුලෙන් කැඩිලා කොළඹ ඇවිල්ලා එතනින් ඇකඩමියාවට ගිහිල්ලා වෙන ප‍්‍රැක්ටිස් එකක් ඇතුළෙ හිටියා. නමුත් සමහර සබ්ජෙක්ට්ස් මැටර්ස් මට එන්නෙ දීප්තිලාගෙ දැනුමෙන්. ඔවුන් ඇකඩමියාවෙන් පිට වෙන දැනුමක් නිෂ්පාදනය කළා මේ පොළොව ඇතුළෙ. ඊළඟට මගේ චිත‍්‍රය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇතුළෙ ශික්ෂණයට ලක්වෙනවා. ඒකෙදි මට විවිධ ගුරුවරු හම්බවෙනවා. ඔවුන්ගෙන් මම යම්කිසි ව්‍යාකරණ ටිකක් විධිමත්ව ඉගෙන ගන්නවා. එතකොට මට ගුරුවරු තුන්දෙනෙක් ඉන්නවා. ජේවීපී එක. මගේ අයියා. දීප්ති. ඔය තුන් දෙනා තමයි මාව වෙනස් කළේ.
## ජවිපෙ ඔබේ මුල් ගුරුවරයා බව ඔබ කීවා. නමුත් දැන් එවැනි සම්බන්ධයක අක්මුල් පෙනෙන්න නැහැනෙ. ඇයි ඒ ?
එක මොහොතක ජවිපෙන් මම ඈත් වුණා. මොකද ඔවුන් විශේෂයෙන්ම කලාව සම්බන්ධයෙන් දරන අදහස් නිසා. ඔවුන් දරන්නෙ කලාව ප‍්‍රචාරකවාදී විය යුතුයි කියන අදහස. මම ඒ අදහස පිළිගන්නෙ නැහැ. නමුත් ජවිපෙ තුළ ගෙවුණු ඉතිහාසයට මම හරි ආදරෙයි. ඒ ගෞරවය එක සහ ඒ මූලයන් තවම මා තුළ තිබෙනවා.
## ජවිපෙ කලාව සම්බන්ධයෙන් දරන අදහස සහ ඔබ කලාව සම්බන්ධයෙන් දරන අදහස ගැටෙන්නෙ ඇයි ? මූලිකවම ඔබ කලාව සම්බන්ධයෙන් දක්වන්නෙ මොන වගේ අදහසක්ද ?
කලාවේ නිශ්චිත අර්ථකථනයක් දෙන්න බැහැ. ඒ කියන්නෙ එක තැනකදි කියනවා කලාව කලාව සඳහා කියලා. තව තැනකදි කියනවා කලාව ජනතාව සඳහාය කියලා. ආයෙ කියනවා කලාව මිනිසාව ප‍්‍රඥාව කරා ගෙනියන එකක් කියලා. කලාව සමාජයට පණිවුඩ දෙන එකක්, කලාව ප‍්‍රචාරකවාදී එකක් ඔහොම එක එක විදියට ඇනලයිස් කරනවා. නමුත් කලාව මේ මොහොතේ විවිධ දෘෂ්ඨිවාදයන් පහු කරගෙන ඇවිල්ලා තියෙන්නෙ. මම කියන්නෙ චිත‍්‍රය අහිංසක නැහැ. ඒ කියන්නෙ ඒක මිනිස් මැදිහත් වීමක්. සංස්කෘතික ගොඩනැංවීමක්. මේ සියලූම දේවල් මිනිස් ශ‍්‍රමයේ ප‍්‍රතිඵල. කලාවට දෘෂ්ඨිවාදයක් තියෙනවා. දේශපාලනයක් තියෙනවා. මනෝ විශ්ලේෂණයක් තියෙනවා. ඒකට ජාතියක් තියෙනවා. ඒකට සන්ධර්භයක් තියෙනවා. කලාව සම්බන්ධයෙන් අදහසක් තිබුණා, විශ්වවාපී කියලා. දැන් මේ වෙනකොට කලාවේ විශ්වවාපී කියන එකට වඩා සන්ධර්භීය (කලාපීය) ලක්ෂණ තමයි බලන්නෙ. මේ මොහොතේ මමත් ගත කරන මමත් නියෝජනය කරන මේ සමකාලීන මොහොතේ චිත‍්‍රයේ වෙන ආකෘතික නිදහසක් සහ තමන්ට කියන්න ඕන කතාව කියන්න, ඒක චිත‍්‍රයද, මූර්තියද ස්ථාපනයක්ද එහෙම නැත්නම් ලෑන්ඞ් ආර්ට් එකක්ද වීඩියෝ ආර්ට් එකක්ද කියන එක අතික‍්‍රමණය කරපු දෘෂ්‍ය කලා කියන තත්ත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. තව දුරටත් චිත‍්‍රයක්ද මූර්තියක්ද කියන තනි අදහසකට එහා ගියපු දෘෂ්‍ය කලා තත්ත්වයට පත් වෙලා බහු පාඨකයන්ට යන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ ආකෘතිමය නිදහස අනෙක් කලාවන්ට සාපේක්ෂව චිත‍්‍රයේ මට හිතෙන්නෙ තියෙනවා කියලා. ඒ නිසා චිත‍්‍රය කියන එක මේ මොහොතේ මම තේරුම් ගනිමින් ඉන්නෙ සංස්කෘතිකව ගොඩනංවන ලද අදහසක්. ඒකට දෘෂ්ඨිවාදයක් තියෙනවා. ඒක අහිංසක නෑ. ඒකට ඇත්තටම ව්‍යාපෘතියකුත් තියෙනවා. ඒක ඇත්තටම කාලරූපීයව වෙනස් වෙමින් ආපු ගමනේ එකතුවක්. දැන් ලෝකෙ විෂුවල් ආර්ට් ඇතුළෙ තියෙනවා ප‍්‍රවණතාවයක් ආටිස්ට කැන්වස් එක ඇතුළෙ තමන්ගෙ තමන්ගෙ කතාව කියා ගන්න බැරි නම් ආටිස්ගෙ බොඩි එක පවා ප‍්‍රසන්ට් කරන්න පුළුවන්. ඒක තමයි නිදහස. ඒක තමයි කලාව. නැතුව මේ තව දුරටත් අපි හතරසීමාවක් ඇතුළෙ හිර වෙලා කැන්වසය මතම දේවල් කියන්න ඕන කියලා නියමයක් නැහැ. නමුත් චිත‍්‍රයක් කියන්නෙ කැන්වසයක් මත අඳින ලද එකක්ය කියන මූලික අදහස අහෝසි වෙලාම නැහැ.
## මතයක් තියනවා යම් නිර්මාණයක් කරද්දි ඒ නිර්මාණකරුවා අතින් එය සිද්ධ වෙන්නෙ අවිඥානිකව කියලා. එහෙම නැත්නම් හිතා මතා නිර්මාණ කරන්න බැහැ වගේ අදහසක් ඒක. ඔබ පිළිගන්නවද ඒක ?
මම හැමතිස්සෙම සිහියෙන් චිත‍්‍ර අඳින්නෙ. ඒ කියන්නෙ මට හේතුවක් තියෙනවා. මට ස්වයංක‍්‍රීයව චිත‍්‍ර අඳින්න බැහැ. මගේ මනස වැඩ කරනවාම තමයි. සිහියෙන් හිටියෙ නැත්නම් මේ කාලෙ අපිට වෙන්න තියෙන අනතුර බරපතළයි. හොඳ සිහියෙන් සිටීම කියන කාරණාවෙදි මට මේ දේවල් මග හරින්න බැහැ.
## කලාව ජානමය පිහිටීමක්, උත්පත්ති පිහිටීමක් බව කියවෙනවා. විශේෂයෙන්ම ගැයීම, ඇඳීම, රංගනය ආදී කටයුතු වලදි. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
මම පිළිගන්නෙ නැහැ, කලාව ජානවලින් හෝ උපතින් එනවා කියලා. ඊට වඩා මම විශ්වාස කරන්නෙ කතිකාව සහ පුහුණුව.
## ඔබේ චිත‍්‍ර නිර්මාණකරණය සහ ඔබේ කලාව ඔබ විසින් අර්ථ දක්වන්නෙ කොහොමද ?
මම කලාව කියලා තේරුම් ගනිමින් ඉන්නෙ මේ සමස්තය. ඒ කියන්නෙ මම සමාජයට අයිති මිනිහෙක්. මට තනිව වැඩ කරන්න බැහැ. මම තනිව චිත‍්‍ර ඇඳලා සයින් එක ගැහුවට මට තනිව චිත‍්‍ර ඇ‍ඳ‍ෙන්නෙ නෑ. ඒක ඇක්ට් එකක්. ඒක ප්‍රොසෙස් එකක්. ප‍්‍රගීත්ගෙ චිත‍්‍ර ප‍්‍රදර්ශනය කියලා කිව්වට ඒ තුළ අනෙකාත් ඉන්නවා. මට තනිව ඒ දේවල් කරන්න බැහැ. ඒ කියන්නෙ දේශපාලනිකව හුස්ම ගන්න සත්ත්වයෙක් හැටියට හිතුවොතින් එහෙමයි.
## ප‍්‍රගීත් අර ලස්සන හුරුබුහුටි හිත ඇදී යන චිත‍්‍ර අඳින්නෙ නැත්තේ ඇයි?
විශ්ව විද්‍යාල කාලෙ පොදු ජන අර්ථයෙන් ලස්සනයි කියන චිත‍්‍ර ඇන්දා. ඒවා අධ්‍යයන වැඩ. ඒවා ව්‍යාකරණ. නමුත් ව්‍යාකරණ දිගට කරන එක නෙමෙයි චිත‍්‍ර අඳිනවා කියන්නෙ. ව්‍යාකරණ පාවිච්චි කරලා මට ඕන දේ මම කියනවා. සමහර වෙලාවට ව්‍යාකරණ කැඩෙනවා අලුත් ව්‍යාකරණ හැදෙනවා. හැබැයි ඒ ව්‍යාකරණ කඩන්නෙ මම දැනුවත්ව. ව්‍යාකරණය කඩන්න බැහැ ව්‍යාකරණය දන්නෙ නැත්නම්. ලෝකයේ වට්ටෝරුගත ව්‍යාකරණ ටිකක් තිබ්බා කලාව සම්බන්ධ ඇකඩමියාව ඇතුළෙ. අපි ඒ දේවල් අධ්‍යයනය කළා. පරණ එකෙන් සමහර වෙලාවට මේ මොහොතේ මගේ කතාව කියන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මම මගේ අලුත් එක හොයනවා.
## පස්වෙනි ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය ”එකලස් රූප” ඇතුළෙ ඔබේ කතාව කියන්න ඔබ පාවිච්චි කරන්නෙ මොන වගේ ක‍්‍රමවේදයක්ද ?
චිත‍්‍ර අඳිනවා කියන එකට වඩා මේ ප‍්‍රදර්ශනයේ තිබෙන වැඬේ තමයි මම චිත‍්‍ර හදනවා. මගේ ප‍්‍රධාන ම දේ තමයි මිනිස් රූපය හැදීම කියන එක. ලොකූ චිත‍්‍ර වෙනුවට චූටි චිත‍්‍ර සහ මේ චිත‍්‍ර ඔක්කොම හරි හතරැුස්. එක්කො අඩි හතරයි හතර. එක්කො අඩි තුනයි තුන. එක්කො අඩි දෙකයි දෙක. ඒ වගේ හතරැස් හැඩ. ඒ කියන්නෙ මෙන්න මේ හතරැස් ජීවිත. කොටු වුණු ජීවිත. ඊට පස්සෙ මේ එක කැන්වස් එකක මිනිස් රූප දාහක් දෙදාහක් තුන් හාරදාහක් තියෙනවා. ඒ කියන්නෙ මිනිස් රූප පොකුරක් තියෙනවා. ඒක තමයි මම මේ ‘එකලස් රූප’ කියන්නෙ. ඉතින් මම මේ රූප වල මිනිස්සු එකලස් කරලා තියෙන්නෙත් නැවත ගැප් එකක් තියලා. හැම මිනිහෙක්ගෙම හතර වටේ සීමාවක් තියලා තමයි මම මේ පොකුර හදලා තියෙන්නෙ. මොකද හැමෝම ඉන්නෙ තමන්ගෙ සීමාව තියාගෙන. ඒ තරමට නරුම වෙලා. සීමා මායිම් නැතුව අපිට ආදරේ කරන්නවත් දේවල් බෙදා ගන්නවත් බැරි වෙලා තියෙනවා. මම කියන්නෙ ප‍්‍රශ්න තියෙනවා. සුපිරි විදියට දේවල් දිහා බලන්න අපි කව්රුවත් පරිපූර්ණ වෙලා නැහැනෙ. අපේ පංතියේ ස්වරූපයම ඒකනෙ.
## ඔබට කියන්න ඕනෙ ‘එකලස් රූප’ නමැති කතාව. ඇයි එවැනි නමක් භාවිත කළේ ? සහ ඒ සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අර්ථ දැක්වීම ?
නමේ අර්ථය ගත්තොත් එකලස් කරන්න නම් විසිරිලා තියෙන්න එපායැ. ඉතින් මේ මොහොතේ මම හිතනවා අපි හැමෝටම මොකක් හෝ තනිකමක් තියෙනවා කියලා. අපි එකට හිටියට අපි තනියම ඉන්නෙ. ඒකට හේතුව තමයි අර කියනවනෙ ”අපි ක‍්‍රමය වෙනස් කළේ නැත්නම් ක‍්‍රමය අපි වෙනස් කරනවා” කියලා. දැන් ඒ ක‍්‍රමය අපි වෙනස් කරලා. දැන් මට ඔයාව ඕන නෑ. මට ඔයාව දැනෙන්නෙ නෑ. ඒ ගාණට ඇවිල්ලා. ඒ වුණාට මනුෂ්‍යයෙකුට තව මනුෂ්‍යයෙක් හම්බවෙන එකනෙ ලෝකයේ ආශ්චර්යය. කොංගො වනාන්තරයේ තනි වෙලා ඉන්න මිනිහෙකුට තව මිනිහෙක් හම්බවෙන එකනෙ ලෝකයේ ලොකුම සතුට. ඉතින් මේ සතුටනෙ මේ අහිමි කරමින් යන්නෙ. ලෝකයේ හොඳම ෆෝන් එක මගෙ අතට ආවොත්නෙ මට ආතල් එක තියෙන්නෙ. මම මේ කියන්නෙ ඒක නරකයි කියලා නෙමෙයි. හැබැයි ඒකත් එක්ක ලස්සන සංස්කෘතියක් හැදිලා අනෙකා සමගනෙ ඒක ෂෙයා කර ගන්න ඕනෙ. ඒක නිසා අර භාණ්ඩය විතරක් ආවම සංස්කෘතිය නැතිව අපි ඇරියස් කවර් කරන්නෙ. මට අනෙකාත් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. ඒ ඇරියස් එක මට මානසික අවකාශය ඇතුළෙ බෙදා ගන්න බැහැ. මම වෙන එකකින් අනෙකාව මට්ටු කරනවා. ඔය ගාණට මනස හැදිලා තියෙන්නෙ. මගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය කඩා පනින්නෙ මෙන්න මේ කතාව කියන්න. චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ නම ‘එකලස් රූප’ තමයි. ඒකෙ පේ ඔෆ් ලයින් එක තමයි ”එකට හිටියට තනිව ඉන්න මිනිස්සු.”
## මේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයේදී ඔබ ඔබේ අනන්‍යතාවය අහෝසි කරගෙන තිබෙනවා. ඒක ඔබ පිළිගන්නවා. ඇයි එවැනි තැනකට ගියේ ?
මට මාර්කට් එක තිබුණු අනන්‍යතාවය මම අහිමි කර ගත්තා. එහෙම වෙන්න බෑ ලෙහෙසියෙන්. අපේ ගොඩක් වැඩිහිටි ආටිස්ලා එකම සූත‍්‍රයක යන්නෙ. එක චිත‍්‍රයක් බලපුවාම ඇති. නමුත් මම මේ කරන මගේ පස්වෙනි ඒක පුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනයේදී ආකෘතිකවම මගේ චිත‍්‍රය වෙනස්. මට අහිමි වෙන දේ ගැන නෙමෙයි මම හිතන්නෙ. මම කව්ද සහ මම කරන්න ඕන මොකක්ද කියන එක තමයි මම හිතන්නෙ. ආටිස්ට් කෙනෙක් ආටිස්ට් කෙනෙක් විදියට ඉන්නවා කියන එකේ තේරුම තමන්ට ඕන දේ කරන එක.
## ඔය අනන්‍යතාවය කියන එක ගැටගැහෙන්නෙ ඉතිහාසයත් එක්ක. අපි කතා කරමු ඔබ පහු කරගෙන ආපු ඔබේ චිත‍්‍ර ඉතිහාසය ගැන. ඒ හරහා අපිට පුළුවන් ඔබ අහෝසි කර ගත්තෙ මොනවගේ අනන්‍යතාවයක්ද කියන එක පැහැදිලි කරල ගන්න ?
සාමාන්‍යයෙන් කලින් මගේ චිත‍්‍ර මම ඇන්දේ වයිට් ඔන් වයිට්. ගොඩාක් සුදු වර්ණයෙන් තමයි මම වැඩකළේ. ඒකට මට හේතුවත් තිබ්බා. සුදු කියන්නෙ ඕනම වර්ණයක් මරන්න එකතු කරන පාට. එතකොට මට ඕන වුණා මෙන්න මේ මොහොත, ඒ කියන්නෙ ප‍්‍රාග්ධනය අධිනිෂ්චය වෙච්ච, මිනිස්සුන්ට වඩා භාණ්ඩ වලට ආදරය කරන සමාජයක මිනිස්සු මිනිස් සම්බන්ධතා කියන එක නිකං පණ නෑ වගේ දැනෙන්න ගත්තා. ඉතින් පණ නැති මිනිස් සම්බන්ධතා අඳින්න මම වර්ණ මැරුවා. එතකොට සුදු වුණා මගේ චිත‍්‍ර. ඈෂ් වුණා. ඩල් වුණා. හරිම මුඩු පාටක්. දීප්තිය නෑ. මගේ චිත‍්‍ර ළඟට ඇවිල්ලා බලන්න ඕන ගොඩක්. ඇයි ළඟ ළඟ ටෝන්නෙ තියෙන්නෙ. මරලා තියෙන්නෙ. ඔහොම චිත‍්‍ර ඇඳපු මම මේකෙදි මිනිස් රූපයේ අවම හැඩය තමයි ඇන්දේ මේවා එකක් වත් ගැහැනුද පිරිමිද ළමයෙක්ද වැඩිහිටිද කියලා හඳුනා ගන්න බැහැ. මූලික තැනුම් ඒකකය තමයි මම ඇඳලා තියෙන්නෙ. හස්ත කෞෂල්‍යය පුහුණුව තිබුණු මම ඒක හිතා මතා අයින් කරනවා මගේ වැඩේට. මොකද මට අරකෙන් මේක කියන්න බෑ. අරකට ආස කරන කට්ටිය ගොඩක් ඉන්නවා. නමුත් අනුන්ගේ ආසාවල් වල මට පදිංචි වෙන්න බෑ.
## ‘මේ චිත‍්‍ර තේරෙන්නෙ නෑ’ කියන මැසිවිල්ල මම හිතන්නෙ ප‍්‍රගීත්ගෙ චිත‍්‍රයටත් මේ මොහොත් බලපාලා ඇති. ඔබ හිතන්නෙ ඇයි පොදු සමාජයට සම්භාව්‍ය කලාව තේරෙන්නෙ නැත්තෙ ?
මට ඊයෙ පෙරේදා ගැලරි එකේදි, ඒකෙ සේවය කරන සේවකයෙක් හමු වුණා. ඔහු මා ළඟට ඇවිත් ඇහුවා සර්.., සර් මේ මොනවද ඇඳලා තියෙන්නෙ ? සර් කොහොමද මේවා ඇඳලා තියෙන්නෙ ? ඇයි සර් මේ චිත‍්‍ර තේරෙන්නෙ නැත්තෙ ? කියලා එයාට ආපු සාධාරණ ප‍්‍රශ්න තුනක් එක හුස්මට මගෙන් ඇහුවා. මම එයාගෙන් ඇහුවා ”මේ මොහොතේ ඔයාගෙ ළඟ ඉන්න කට්ටිය ඔයාට තේරෙනවද ? ඔයාට කෙනෙහෙලිකම් කරන කට්ටිය ඔයා අවට නැද්ද ? ඔයාගෙ දුකකදි කට්ටිය ඉන්නවද ඔයාට ?” මම ඇහුවෙ සරල ටිකක්. එයා කිව්වා... සර්, ඔයා හරි සර්. ගේ‍්‍රට් සර් ඔයා. තේරෙන්නෙ නෑ මිනිස්සුන්ව. ඉතින් මිනිස්සුන්ව තේරෙන්නෙ නෑ. අඳුරන්න බෑ. ඒක තමයි මං අඳුරන්න බැරි මිනිස් රූප ටිකක් ගොඩ ගැහුවෙ.
අපි මිනිස්සු තේරුම් ගන්නවා කියන්නෙ ඇස් කන් නාස දකින එක නෙමෙයි. ආලේඛ්‍ය චිත‍්‍රයක් කියන්නෙ ඇස් කණ් නාස අඳින එකට නෙවෙයි. ළඟම ඉන්න එකා මාව පාවලා දෙනවා නම්. කකුල් මාට්ටු දානවා නම්. මම කියන්නෙ ඔයයි මමයි දෙන්නෙක්නෙ. ඔයා කරන මීඩියා වැඩේ කරන්න මට බෑනෙ. මම හිතන්නෙ ඔයාටත් මට විතර චිත‍්‍ර අඳින්න බැරුව ඇති. අපි දෙන්නා ඒකට කොන්සස්නෙ. ඔයා වෙන්න මට බෑ. ඔන්න ඔය වෙනස්කම් කියවා ගන්න බැරි කම තමයි මේ සමාජයේ තිබෙන ලොකුම අවුල. වටිනාකම් ඇති කරන්නෙ වෙනස්කම් තුළින්නෙ. අපි දෙන්නම චිත‍්‍ර අඳින දෙන්නෙක් වුණත් ඔයාගෙ හැඩතල කලර්ස් ටෙක්නිස්ක්ස් වෙනස්නෙ. ඇයි මම ඔයාට බය වෙන්නෙ ? ඔන්න ඕක තමයි තිබෙන අවුල.
-----------------------------------------------------------------------------------
කතා බහ - භාතිය ගුණසේන
‘සංදීපනී’ ලංකා ඉරිදා සංග්‍රහය - 2018 - 07 - 29 ඉරිදා

No comments:

Post a Comment

Texts

ආතති මුක්තය