Wednesday, January 23, 2019

වියමනක් ලෙස දෘශ්‍ය කලාව කියවීම


යම්කිසි කෘතියක ආකෘතිය සහ අන්තර්ගතය සමහරවිට සමපාත වන අත, සමහර තැනක එය පරස්පර වේ. මෙය හිතාමතා හෝ නොදැනුවත්ව සිදුවිය හැකි කාරණයක් කියවීමේ දී එය වියමනක තබා පරීක්ෂා කිරීමේ දී කෘතිය සහ කෘතියෙන් පිටත සම්බන්ධය වෙන් කළ නොහැකි සම්බන්ධයකි. නූතන යුගයේ බොහෝ දුරට කලා කෘතිය නිම වූ පසු කතෘ එසේත් නැත්නම් කෘතියේ නිර්මාපකයා පෙනී සිටීමේ වුවමනාවට වඩා 'කෘතිය' පෙනී සිටියි. ශිල්පියාගේ ලියවිල්ල එහි දී අනිවාර්ය නොවූ අතර කෘතිය තුළ සියල්ල එහි දී සිතා ඔහු ඉන් ඉවත් වේ. එක තැනක දී පිකාසෝ ගේ ගුවර්නිකා චිත්‍රය ගැන මාධ්‍යවේදියෙක් විමසද්දී ඔහු ප්‍රකාශ කළේ "මම චිත්‍රය ඇඳල තියෙන්නේ. නැත්නම් මම පොතක් ලියනවනේ." යනුවෙනි. එයින් ගම්‍ය වන්නේ කෘතිය අන්තර්ගතය වෙනුවෙන් කොතෙක් දුරට පෙනී සිටිනවාද යන්නයි.
කලා කෘතියක් කියවීමේ දී එය වියමනක් ලෙස එකිනෙකට බැඳී තිබෙන අයුරු සහ කලා කෘති කියවීම  වෙනත් මානයක් ඔස්සේ සිදු වන බවත් නිරීක්ෂණය කළ හැකිය. පශ්චාත් නූතනවාදය, පශ්චාත් ව්‍යුහවාදය, සංඥාර්ථවේදය, මනෝවිශ්ලේෂණවාදය වැනි ක්ෂේත්‍ර වියමනක තබා කලා කෘතියක් කියවීමේ දී නැවුම් මානයක් එකතු කළේ ය. එය කලාව ආගමික සන්දර්භයක සිට වෙළෙඳපොළ සන්දර්භයට මාරු වීම දක්වාත් මාක්ස්වාදී විචාරයෙන් ඔබ්බට ගමන් කිරීම දක්වාත් තිබූ සීමාවන් අතික්‍රමණය කිරීමකි.

අනන්‍යතාව 
මෙහි දී අනන්‍යතාව යනුවෙන් හඳුන්වනු ලබනුයේ ඕනෑම මනුෂ්‍යයෙකුට තමන්ගේ සමාජ කණ්ඩායම තුළ තමන්ගේ ස්ථානය කුමක් ද යන්න පිළිබඳව නිශ්චිතතාවක් නිර්මාණය කර ගැනීමයි. සෑම කෙනෙකුම අත්සන වර නැඟීමට හැකියාවක් ඇත. අත්සනක් නිර්මාණය වීමට නම්, යම්කිසි ක්‍රියාවලියක ක්‍රියාමය තත්ත්වයක සිටිය යුතු අතර එළියෙන් එසේත් නැත්නම් සමාජයෙන් එය පෙරළා තමන් වෙත ලැබෙන දෙයකි. අත්සන යනු කෙනෙකු හඳුනා ගැනීමට සලකුණු කරනු ලබන භෞතික අකුරු, රූප වෙනයම් හෝ සංකේතයක් පමණක්ම නොවේ. යම්කිසි කෙනෙකුට අත්සනක් සෑදෙන්න නම් තවත් අත්සනක් තියෙන කෙනෙක් සහතික වීමට සිදු වේ. මෙය Counter signature ලෙස හැඳින්වේ.

කලාගාර අවකාශ
සොබාදහම තුළ ලිවීමක් වන චිත්‍රය අද වන විට නූතන රසික සංකල්ප රාශියක් පසුකොට ආකෘතික නිදහස දක්වා ගමන් කර ඇත. කලාව නොවන දේවල් කලාගාර අවකාශ වෙත රැගෙන ඒම හා එය කලාගාර අවකාශයක දී කෘතියක් වන බව මාර්ෂල් ඩුෂාම් කලා ඉතිහාසයේ දී ඔප්පු කර ඇත. යම්කිසි දෘෂ්ඨිවාදයක් තුළ එසේත් නැත්නම් අදහසක් තුළ නිමි භාණ්ඩයක් හෝ කලාව නොවන ලෙස හඳුනා ගත් භාණ්ඩයක් නැවත කලාගාර අවකාශයට රැගෙන ආ පසු එය කලා කෘතියක් වන්නේ ය. එය ඒ හා පවත්වන සවිඥානිකත්වය නිසා ය. ලංකාව තුළ පැවති කලාගාර අවකාශ ලෙස ජාතික කලා භවන, එතෙක් පැවති රාජ්‍ය දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වූ එකම කලාගාරයයි. එහි පැවැත්වූ ප්‍රදර්ශන හා ප්‍රදර්ශන පවත්වන පන්තිය පිළිබඳව අවබෝධයක් අපට දැකගත හැකිය. මෙම රාජ්‍ය දෘෂ්ඨිවාදී කලාගාර වෙනුවට ගොඩනැඟෙන පුද්ගලික කලාගාර අවකාශ ශ්‍රී ලාංකේය කලාවේ හැරවුම් ලක්ෂ්‍යක් නිර්මාණය කළේ ය. එය කලාකෘති නිෂ්පාදනය කරන කලාකරුවා හා කලාගාර හිමිකරුවා අතර ඇති වූ මින් පෙර නොවූ සම්බන්ධයකි. එයින් කලාකරුවාගේ ජීවන විලාශයට යම්කිසි ආර්ථික වටිනාකමක් එකතු කළ මංසන්ධියකි. මන්ද පුද්ගලික කලාගාර අවකාශ පවත්වාගෙන යනු ලබන්නේ ලාභය මත වීම ඉන් ප්‍රධානය. මෙහි දී හිමිකරුවාට හා කලාකරුවාට යන දෙපාර්ශවයටම මූල්‍යමය හෝ සංකේතමය වටිනාකමක් නිර්මාණය කළේය. ලයනල් වෙන්ඩ්ට් කලාගාරය පැරඩයිස් රෝඩ් කලාගාරය බෙයාෆුට් කලාගාරය, සස්කියා ප්‍රනාන්දු කලාගාරය ආදිය ශ්‍රී ලාංකේය ද්‍රෘශ්‍ය කලාව කෙරෙහි බලපෑමක් කළ ප්‍රධාන පෙළේ පුද්ගලික කලාගාරයන් ය.

වෙළෙඳපොළ 
ලාංකේය කලා ඉතිහාසයේ කාල රේඛීය සොයාබැලීමක දී රාජ්‍ය අනුග්‍රහය හා බැඳී තිබූ කලාවක් දැකිය හැකිය. එය ඒ මොහොතේ දී සෑම ජන සමාජයකටම පොදු කාරණයකි. සමකාලීන ද්‍රෘශ්‍ය කලාව තුළ ද වෙළෙඳපොළ ක්‍රියාත්මක වීම අනිවාර්ය සාධකයකි. එයින් කලාකරුවාට මග හැර යා නොහැක. විශේෂයෙන්ම හුවමාරු භාණ්ඩයක් වන චිත්‍රය හා මූර්තිය සමග ඍජුවම වෙළෙඳපොළ ක්‍රියාත්මක වුවත් happening arts, performing arts, body arts, land arts, installation arts, video arts වැනි කලා කටයුතු සමග වෙළෙඳපොළ ක්‍රියාත්මක වනුයේ සංකේත වටිනාකමක් තුළිනි. විශේෂයෙන්ම මිලදී ගැනීමට අපොහොසත් කලා කෘති නිපදවීම යනු ශිල්පියාට මූල්‍ය ප්‍රාග්ධනයට එහා ගිය සංකේත වටිනාකමක් ප්‍රාග්ධනයක් රැස් කිරීමයි. එසේ එක්රැස් වන සංකේත ප්‍රාග්ධනය නැවත මූල්‍ය ප්‍රාග්ධනය බවට පත් කිරීමට ද කලාකරුවාට හැකියාව ඇත.

කලාවේ භාෂාව 
කලාවේ භාෂාවට ඇතුළු වීම හා සංකේතනය කර ගැනීම කෘතියක් නිපදවීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ලබයි. අදාල විෂය සීමාවේ ද්‍රෘශ්‍ය සාක්ෂරතාව පිළිබඳව තමන් සතු විශ්වාසය කෘතියේ විචාරශීලීත්වය දියුණු කිරීමට බලපානු ලබයි. මූලධර්ම හා මූලිකාංග ද්‍රෘශ්‍ය කලාවේ අලුත් උපකරණ ලෙස හැසිරවීමට ශික්ෂණය ලැබීම හා අන්තර්ගතය වෙනුවෙන් ව්‍යාකරණය අතික්‍රමණය කිරීම ද්‍රෘශ්‍ය කලාවේ සීමාවන් පුළුල් වීමට බලපානු ඇත. චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහගේ "කාංසාව" ප්‍රදර්ශනය දෘශ්‍ය කලාවේ අලුත් ව්‍යාකරණ සොයා යාමකි. 88, 89 දකුණේ භීෂණ සමය තුළ ගෞරවාන්විත මරණයක් පිළිබඳව තිබුණු විශ්වාසය බිඳ වැටීම ප්‍රකාශනාත්මකව ගොඩනැඟීමට උත්සාහ දැරීය.

ජනමාධ්‍ය 
ජනමාධ්‍ය ලෝකයේ සිවුවැනි ආණ්ඩුව ලෙස හඳුන්වනු ලැබේ. මාධ්‍ය යනු මේ මොහොතේ රාජ්‍ය දෘෂ්ඨිවාදයක් හෝ පෞද්ගලික දෘෂ්ඨිවාදයක් නියෝජනය කරන, සමාජ උඩුයටිකුරු කරන කලාපයකි. මාධ්‍ය ප්‍රතිරූප නිෂ්පාදනය කරන සමාජ අවකාශයක කලාව සමග සබඳකම් පවත්වන ආකාරය වැදගත්ය. කෘතියක් සමාජගත වීමට මුඛ පරම්පරාගතව සිට පැමිණි මෙය අද දවසේ සයිබර් අවකාශය දක්වා විශාලනය වී ඇත. එය මගහැරීමට නොහැකි විශ්ව ව්‍යාපී සංකල්පයකි. ජනප්‍රිය අර්ථයෙන් අද දවසේ මුහුණුපොත හොඳ නරක භේදයකින් තොරව සියලු ඉසවු සමග සජීවීව සම්බන්ධකම් පවත්වයි. විශේෂයෙන්ම ශ්‍රව්‍ය යුගය පසුකළ අප දැන් සිටින්නේ දෘශ්‍ය යුගයකය. එම යුගය තීරණාත්මක වූ විශේෂ ලක්ෂණ සමග කලාව හා අනෙකුත් කලාවන් සමග අත්‍යන්තයෙන් බැඳී පවතී.

කලා විචාරකයා
කලා විචාරකයා එසේත් නැතහොත් කලා විචාරය කෘතිය හා කෘතියේ නිෂ්පාදකයා අතර පාලම සාදන සාධකයයි. එය කුමන හෝ දෘෂ්ඨිවාදයක් උසුලනු ලබයි. රාජ්‍ය කේන්ද්‍රීය හෝ රාජ්‍ය නොවන දෘෂ්ඨිවාදයක් තුළ එය ක්‍රියාත්මකයි. කිසිදු කලා විචාරයක් අහිංසක නොවන අතර කුමන හෝ ව්‍යාපෘතියකට එය නෑකම් කියනු ලබයි. උදාහරණයක් ලෙස මහාවංශය ගතහොත් එය ලියවෙනුයේ ඒ ඒ මොහොතේ රාජ්‍ය දෘෂ්ඨිවාදය අනුවය. සමහර දේවල් එකතු කිරීමත් බැහැර කිරීමත් දේශපාලනික වනුයේ ඒ නිසාවෙනි. ලෝක කලා ඉතිහාසයෙන් අනාගතවාදය ලෙස සැලකෙන කලා ව්‍යාපාරයේ ප්‍රකාශකයා එසේත් නැත්නම් න්‍යායාචාර්‍යවරයා වූයේ මාරිනෙට්ටි නම් පුද්ගලයාය. එය විචාරය කරන ආකාරය, එය සංවිධානය කරන ආකාරය කුමන හෝ දේශපාලන මතයක් සමග සමපාත වන බව පැහැදිළිය. චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහ ලංකාව තුළ ද්‍රෘශ්‍ය කලාවට නව විචාරශීලි අදහසක් නිෂ්පාදනය කළ අතර කලාවේ දේශයෙන් පරිබාහිරව තිබූ අමුද්‍රව්‍ය කලාව බවට පත් කිරීමට තරම් විචාර කලාවක් බිහි කළේය. එසේම දීප්ති කුමාර ගුණරත්න කලාවේ කිසියම් සිරගත වී තිබූ තැනින් ගළවා මනෝවිශ්ලේෂණවාදය වැනි විෂයයන් තුළින් කලාකෘති නැරඹීමට හැකි බව පෙන්වා දුන්නේය.

දෘෂ්ඨිවාදය 
කලාකරුවකු කවුරු හෝ කෙනෙකුට යටත් නොවී සිටිනවා යැයි පවසනුයේ ඔහු හෝ තමන්ට කැමති ආකාරයට සිටීමට අවශ්‍ය ශක්තිය තමන් තුළ තබා ගන්නේ නම් පමණි. එසේ වීමට බලපාන ප්‍රධාන සංඝටකයකි, දෘෂ්ඨිවාදයකි. දෘෂ්ඨිවාදය යනු අදහස් පිළිබඳ විද්‍යාවයි. අප හැමෝම යම්කිසි දෘෂ්ඨිවාදයක් නියෝජනය කරනු ලබයි. ආගමික, දේශපාලනික, කලාත්ම, ආර්ථික ආදී වශයෙන් තමන් දරන දෘෂ්ඨිවාදය විසින් නිරමාපකයාව නඩත්තු කරනු ලබනුයේ යම්කිසි කලාකෘතියකට දෘෂ්ඨිවාදී තල්ලුවක් අවශ්‍ය වන බැවිනි.
වියමනක් තවත් වියමනක් සමග සම්බන්ධ වීමෙන් අන්තර් වියමනක් සෑදෙන අතර කෘතියේ අර්ථය සහ අන්තර්ගතය පුළුල් කරයි. තව දුරටත් කලා කෘතියක් කියවීම යනු මෙම සංඝටක අතර ඇති සම්බන්ධය සෙවීමයි. කෘතියේ ඇතුළත සහ පිටත කියවීමයි. ගොඩනැඟෙනුයේ ගොඩනඟන්නාය යන ප්‍රවාදය ලිහා බැලීමයි. මෙසේ වියමනක තබා කලාකෘති කියවීමේදී බහු පාඨනයක් හරහා නව මානයක් ස්පර්ශ කළ හැකිය. සාම්ප්‍රදායික අර්ථයෙන් කලා කෘති දෙස බැලීමට තිබූ උපකරණ වෙනුවට වියමන නැත්නම් පඨිතයක් ලෙස ගැනීම කෘතිය සහ කෘතිය ගොඩනඟන්නා අතර සවිඥානිකත්වය තේරුම් ගැනීමට සහ ව්‍යුහාත්මක තර්කනයක් තුළ කලාව විනිවිදීමට අවස්ථාව උදා කරයි. 

No comments:

Post a Comment

Texts

ආතති මුක්තය